හද ගැස්ම සහ හුස්ම ගැනීමේ වේගය මනින ඩ්‍රෝන්

  • 2017 සැප්තැම්බර් 30
Image copyright UNIVERSITY OF SOUTH AUSTRALIA

ජීවිතයේ විවිධ අවස්ථා සහ පුවත් වාර්තා ඡායාරූපයට නැගීම පිණිස සාම්ප්‍රදායිකව යොදා ගැනුණේ කැමරාව සහ වීඩියෝ කැමරාවය.

එවැනි කාර්ය භාරයන් සඳහා ඩ්‍රෝන භාවිතා කිරීම දැන් ක්‍රමයන් ඉහළ යමින් පවතී.

මේ අතර සෞඛ්‍ය ක්ෂේත්‍රය සඳහා ද ඩ්‍රෝන භාවිත කිරීමට දැරූ සාර්ථක උත්සාහයක් පිළිබඳව ඕස්ට්‍රේලියාවෙන් වාර්තා වේ.

හෘදය ස්පන්දන වේගය සහ හුස්ම ගන්නා වේගය දුරස්ථව මැනිය හැකි ඩ්‍රෝන නිෂ්පාදනය කළ බව දකුණු ඕස්ට්‍රේලියා විශ්වවිද්‍යාලයේ (University of South Australia) පර්යේෂකයෝ පවසති.

ඩ්‍රෝනයට සවි කරන ලද කැමරාවක ඡායාරූප විශ්ලේෂණය කිරීමේ ක්‍රමවේදයක් සහ විශේෂ ඇල්ගරිතම (algorithms) මාර්ගයෙන් ඔබ මොබ සැරිසරමින් සිටින එක් පුද්ගලයෙකුගේ පමණක් නොව කිහිප දෙනෙකුගේම හද ගැස්මේ සහ හුස්ම ගැනීමේ වේගය මැනීමට අලුතෙන් නිර්මාණය කරන ලද ඩ්‍රෝනයට හැකියාව ලැබෙන බව ද ඔවුහු පවසති.

රෝහල්වල, සාත්තු සේවා ආයතනවල පමණක් නොව යුද ගැටුම් පවතින කලාපවල පවා එම ඩ්‍රෝන භාවිත කළ හැකිය.

මිනිස් මුහුණේ සහ බෙල්ලේ වෙනස් වෙන ඉරියව් යොදා ගනිමින් හද ගැස්මේ සහ හුස්ම ගැනීමේ වේගය එය නිවැරදිව ගණනය කරයි.

ඔබේ දුරකථනයේ හෝ පරිගණකයේ මෙය වාදනය කිරීමට අදාළ මෘදුකාංග නැත
'ඩ්‍රෝන් ටැක්සි' - මගී ප්‍රවාහක ඩ්‍රෝන් සේවයක්

නව ඩ්‍රෝන පද්ධතිය අත්හදා බැලීමේදී මීටර තුනක් දක්වා දුරක සිට එය ගණනය කිරීම් කළ නමුත් ඊට වඩා බොහෝ ඈතක සිටින පුද්ගලයෙකුගේ හද ගැස්ම ගණනය කිරීමට එයට හැකියාව තිබේ.

සෑම පුද්ගලයෙකුම ස්වයංක්‍රීයව වෙන වෙනම හඳුනාගෙන ඒ සෑම දෙනාගේම හද ගැස්මේ සහ හුස්ම ගැනීමේ වේගය ගණනය කිරීමට නව ඩ්‍රෝනයට හැකියාව තිබෙන බව ව්‍යාපෘතියේ අධීක්ෂක මහාචාර්ය ජවාන් චාල් (Javaan Chahl) පැවසීය.

කිසිවෙකු අනතුරකට ලක් වූ බොහෝ අවස්ථාවල ඒ සෑම තැනකටම ළඟාවීමට වෛද්‍යවරුන්ට හැකියාව නොලැබෙන බව පෙන්වාදෙන මහාචාර්යවරයා, උදහාරණයක් ලෙස "මහා සාගරය මැද අනතුරකට ලක් වුන පුද්ගලයෙකු වෙත ඉතා ඉක්මනින් සහ පහසුවෙන් ලඟාවෙන්න ඩ්‍රෝනවලට පුළුවන්," බව ද සඳහන් කළේය.

මෙම නවතම සොයාගැනීම සෞඛ්‍ය ක්ෂේත්‍රයේ විප්ලවයක් සිදු කිරීමට ඉඩ තිබෙන බව එක් විශේෂඥයෙක් පැවසීය.

ලන්ඩන් නුවර ඉම්පීරියල් කොලේජ් ලන්ඩන් (Imperial College London) විශ්වවිද්‍යාලයේ රොබෝ තාක්ෂණය පිළිබඳ කථිකාචාර්ය රවි වෛද්‍යනාතන් (Ravi Vaidyanathan), පවසන්නේ මෙය වෛද්‍ය විද්‍යාවේ දියුණුව සඳහා දැනටමත් පවතින තාක්ෂණය බුද්ධිමත් ආකාරයෙන් යොදා ගැනීම පිළිබඳ කදිම උදාහරණයක් බවය.

මගී ප්‍රවාහක ඩ්‍රෝන් යානා සේවයක් ඩුබායි බලධාරීන් පසුගියදා ආරම්භ කළ අතර, ආක්ටික් සාගරයේ වෙසෙන තල්මසුන්ගේ දුර්ලභ දර්ශන පටිගත කිරීම සඳහා කැනේඩියානු විද්‍යාඥයන් ඩ්‍රෝන් කැමරා යොදා ගත් ආකාරය පසුගියදා වාර්තා විය.

ඔබේ දුරකථනයේ හෝ පරිගණකයේ මෙය වාදනය කිරීමට අදාළ මෘදුකාංග නැත
ඩ්‍රෝන් කැමරාවකට හසු වූ දුර්ලභ දසුනක්

සබැඳි විෂයයන්