යුද ගිනි දැල් මැද අවදිවන ළමා ගී හඬ

"ගිනි අවි සහ බෝම්බ ඉදිරියේ මිනිසුන් සිටගත්තා. දරුවන් නිදියහනේ පසුවෙද්දී යුද ගිනි ඇවිලුනා"

ඒ වසර හයකට අධික කාලයක් යුද්ධයෙන් පීඩා විඳින සිරියානු දැරියකගේ මුවින් නික්මෙන ගීතයක කොටසකි.

සනා හලාක් ජීවත් වන්නේ උතුරු දිග සිරියාවේ කැරලිකරුවන් අත පවතින අටරෙබ් නගරයේය.

තම උපන් නගරය වූ දමස්කස් හැර දමා පළා ගිය ඇයගේ දෙමව්පියන් විසින් අටරෙබ් නගරය සිය නවාතැන කර ගනු ලැබීය.

යුද ගිනි දැල් හමුවේ ඇති වන බිය මුසු හැඟීම්වලින් මිදී සිටීම සඳහා සනා විසින් තෝරා ගනු ලැබුවේ ගීත ගායනයයි.

"මම සංගීතයට කැමතියි. සංගීතය මාව වෙනත් ලෝකයකට ගෙන යනවා" යනුවෙන් ඇය සිය හඬ අවදි කරන්නීය.

"අලෙප්පෝ පළාතට ආවට පස්සේ මම සංගීත උත්සව පනහක හැටක ගීත ගායනා කර තිබෙනවා"

"සමහර වෙලාවට අපි ගිම්හාන කඳවුරේ පුහුණු වෙනවා නමුත් ඒක නිතරම වහලා තියෙන්නේ. එතකොට අපි විනාශ වුණු ගොඩනැගිලිවල සුන්බුන් අතරේ ගීත ගායනය පුහුණු වෙනවා" යනුවෙන් ඇය පවසන්නීය.

ඔබේ දුරකථනයේ හෝ පරිගණකයේ මෙය වාදනය කිරීමට අදාළ මෘදුකාංග නැත
යුද ගිනි දැල් මැද අවදිවන ළමා ගී හඬ

අටරෙබ් ෂෙල් වෙඩි ප්‍රහාරවල ඉලක්කය බවට පත් වූ නගරයකි.

ඉස්ලාමීය රාජ්‍ය කැරලිකරුවන් අත පැවති අලෙප්පෝ නගරය සම්පූර්ණයෙන් සියතට ගැනීමට පසුගිය දෙසැම්බරයේ දී ආණ්ඩුවේ හමුදා සමත් වූහ.

නමුත් අටරෙබ් සහ බටහිර දිග පිහිටි නගර කිහිපයක් තවමත් කැරලිකරුවන් අත පවතී.

"යුද්ධය මාව බියට පත් කරනවා විශේෂයෙන් ගෙදරින් පිට එළියේ ඇවිදින්න යන විට. බෝම්බයක් වැදිලා මව තුවාල වෙයි කියලා බය හිතෙනවා" යනුවෙන් සනා පවසන්නීය.

"ගෙදර ඉන්න කොටත් බෝම්බයක් වදීවි කියලා බය හිතෙනවා"

නමුත් යුද බිය හමුවේ තම ගීත ගායනය නැවත්වීමට පුංචි සනා සූදානම් නැහැ.

"මම දිගටම ගීත ගයනා කරනවා. දිගටම සංගීත උත්සවවලට සහභාගී වෙනවා දවසක මම ගීත ලෝකයේ තරුවක් වේවි" යනුවෙන් අනාගතය පිළිබඳ සිහින දකින සනා වැඩිදුරටත් පවසන්නීය.

Image caption "යුද්ධය මාව බියට පත් කරනවා විශේෂයෙන් ගෙදරින් පිට එළියේ ඇවිදින්න යන විට. බෝම්බයක් වැදිලා මව තුවාල වෙයි කියලා බය හිතෙනවා"

2011 වසරේ දී සිරියාවේ ඇරඹි ආණ්ඩු විරෝධී උද්ඝෝෂණ සිවිල් යුද්ධයක් දක්වා වර්ධනය විය.

ආණ්ඩු විරෝධී කැරලිකරුවන් හමුවේ රට අස්ථාවර භාවයට පත් වීමත් සමග සිරියාවේ ඇතැම් ප්‍රදේශ ඉස්ලාමීය රාජ්‍ය සටන්කරුවෝ අත්පත් කර ගත්හ.

ඉස්ලාමීය රාජ්‍යයක් වෙනුවෙන් පෙනී සිටින කැරලිකරුවන්ට අමතරව සිරියානු ජනපති අසාද්ගේ පාලනයට එරෙහිව සටන් කරන කැරලිකරුවන් සහ කුර්දි සටන්කරුවන්ගේ ක්‍රියාකාරිත්වය ද සිරියාව තුළ වර්ධනය වී තිබේ.

ඉරානය, රුසියාව සහ ලෙබනනයේ හිස්බුල්ලා ව්‍යාපාරය සිරියානු ජනපති අසාද්ට සහාය පළ කරති.

ඇමරිකාව, බ්‍රිතාන්‍ය සහ ප්‍රංශය, සෞදි අරාබිය සුන්නි බහුතරයක් වන අසාද් පාලනයට එරෙහි විරුද්ධ කණ්ඩායම්වලට සහාය ලබා දෙති.

සබැඳි විෂයයන්

මේ පුවතට සම්බන්ධ තවත් විස්තර