සමාගමක අධ්‍යක්ෂ මණ්ඩලයට කාන්තාවක පත්කිරීමෙන් ලාභය වැඩි වේවිද?

  • 2017 ඔක්තෝබර් 3
කාන්තාවෝ

"කාන්තාවන් අධ්‍යක්ෂ මණ්ඩලයේ සිටීම සමාගමේ ලාභය ඉහළ දැමීමට හේතු වේ" යන්න මෑත දී පුවත්පත්වල සිරස්තල සැරසූ අවස්ථා බොහෝය.

පැහැදිළිවම කිසියම් සමාගමක සමානාත්මතාව සහ විවිධත්වය සහතික කිරීම පිණිස සමාගමේ ලාභය පිළිබඳව අවධානය යොමු කිරීම යෝග්‍යම ක්‍රමවේදය නොවන්නේ ද?

2010 දී බ්‍රිතාන්‍යය තුළ "සියයට තිහේ සමාජය" (30% Club) පිහිටුවනු ලැබුවේ එහි සාමාජික සියලුම සමාගම්වල අධ්‍යක්ෂ මණ්ඩලයේ අඩුම තරමින් කාන්තා නියෝජනය 30% ක් වීම සහතික කිරීම පිණිසය.

ඇමෙරිකා එක්සත් ජනපදය තුළ සමාගම්වල විධායක අධ්‍යක්ෂවරුන් සහ සභාපතිවරුන්ගෙන් සැදුම් ලත් "සියයට තිහේ සන්ධානය" (Thirty Percent Coalition) පිහිටුවනු ලැබුවේ ද ඒ අරමුණෙන් මය.

සමාගම්වල පමණක් නොව සමාජයේ බොහෝ අංශවල කාන්තාවන්ට දැනට වඩා සම අවස්ථා ලැබිය යුතු බවට විවාදයක් තිබිය නොහැකිය.

එහෙත් කාන්තාවන් වැඩි පිරිසක් අධ්‍යක්ෂ මණ්ඩලවලට පත්කිරීම මගින් සමාගමක ලාභය ඉහළ යනු ඇති දැයි බීබීසී ය කළ සංක්ෂිප්ත විමසුමකි මේ.

ඒ පිළිබඳව ඉක්මන් නිගමනවලට නොඑලඹිය යුතු බව වියතුන්ගේ අදහසය.

Image copyright Getty Images

පුරුෂයන්ගෙන් පමණක් සමන්විත අධ්‍යක්ෂ මණ්ඩල සහිත සමාගම්වලට වඩා එක් කාන්තාවක හෝ අධ්‍යක්ෂ මණ්ඩලයේ සිටින සමාගම්වල ආදායම ඉහළ බව ක්‍රෙඩිට් ස්වීස් (Credit Suisse) මූල්‍ය ආයතනය සුගියදා ප්‍රකාශයට පත් කළ වාර්තාවක් සඳහන් විය.

අධ්‍යක්ෂ මණ්ඩලයෙන් 15% ක් වත් කාන්තාවන්ගෙන් සමන්විත සමාගම්වල ආදායම, අධ්‍යක්ෂ මණ්ඩලයේ කාන්තාවන් 10% ක් හෝ ඊට වඩා අඩු නියෝජනයක් සහිත සමාගම්වලට වඩා 50% කින් ඉහළ බව ද එම වාර්තාවේ දැක්වේ.

කෙසේ නමුත් සමාගම්වල පාලනාධිකාරියේ කාන්තා නියෝජනය පිළිබඳව අධ්‍යයනය කිරීම පිණිස එම සමාගම් විසින්ම පවත්වනු ලබන එවැනි සමීක්ෂණ වාර්තා වෙනත් බොහෝ කරුණු පිළිබඳව අවධානය පළ නොකරන බැවින් ඒවා "බොළඳ" ප්‍රයත්න බව එක්සත් ජනපදයේ නෝර්ත්වෙස්ටර්න් විශ්වවිද්‍යාලයේ (Northwestern University) මහාචාර්ය ඇලිස් ඊග්ලි (Alice Eagly) ගේ අදහසය.

සමාගම් අධ්‍යක්ෂ මණ්ඩලයේ කාන්තා නියෝජනය පිළිබඳව විද්වතුන් විසින් පවත්වන ලද එයට වඩා සංකීර්ණ විශ්ලේෂණ මගින් පෙන්වා දෙන්නේ එයට වඩා වෙනස් චිත්‍රයක් බව ද මහාචාර්යවරිය සඳහන් කරයි.

ඒ අනුව කිසියම් සමාගමක අධ්‍යක්ෂ මණ්ඩලයේ කාන්තාවන් නියෝජනය වීම මගින් සමාගමේ ආදායම කෙරෙහි සාධනීය බලපෑමක් එල්ලවනු ලබන්නේ ඉතා සීමිතව බව පවසන මහාචාර්යවරිය, එමගින් නිශේධනීය බලපෑමක් එල්ලවන බව සහ කිසිදු බලපෑමක් නොමැති බව අනෙක් ඇතැම් විශේල්ෂණ මගින් අනාවරණය වී තිබෙන බව ද සඳහන් කරයි.

අනෙක් අතට එමගින් සාධනීය බලපෑමක් එල්ලවන බව සනාථ කිරීම ද පහසු කරුණක් නොවේ.

Image copyright Getty Images

විශාල සමාගම් සියලුම ස්ථරවලදී වැඩි වශයෙන් කාන්තාවන් බඳවා ගැනීමට පෙළඹීමත්, කුඩා සමාගම්වලට එය එතරම් පහසු කරුණක් නොවීමත් එයට ප්‍රධානම හේතුවකි.

එමෙන්ම ලිංග භේදය නොසලකා දක්ෂතම පුද්ගලයා සේවයට බඳවා ගැනීමට බොහෝ නිර්මාණශීලී සමාගම උනන්දුවක් දැක්වීම ද කාන්තාවගේ දායකත්වය නීර්ණය කිරීම දුෂ්කර කරන සාධකයකි.

උදාහරණයක් ලෙසින් ඇමෙරිකා එක්සත් ජනපදයේ ප්‍රධානම සමාගම්වල කාන්තා නියෝජනය පිළිබඳව සලකා බැලූ වාර්තාවකට අනුව, සමාගමේ අධ්‍යක්ෂ මණ්ඩලයේ කාන්තා නියෝජනය එහි ප්‍රවර්ධනයට බලපානු ලබන්නේ එය "නිර්මාණශීලීත්වය" කෙරෙහි යොමු වූ සමාගමක් නම් පමණි.

එමෙන්ම කාන්තා අයිතිවාසිකම් ඉහළ තත්වයක පවතින රටවල සමාගමක අධ්‍යක්ෂ මණ්ඩලයේ කාන්තාවන් සිටීම එහි ප්‍රවර්ධනයට හේතුවන බව ද සමීක්ෂණවලින් හෙළි වී තිබේ.

(බීබීසී ලෝක සේවය වාර්ෂිකව දියත් කරන 'සියයක් කාන්තාවෝ' වැඩසටහන වෙනුවෙන් 'බීබීසී රියලිටි චෙක්'අංශය (Reality Check)විසින් සකස් කරන ලද ලිපියක් ඇසුරෙනි)