කැටලාන් ජනමත විචාරණය: ලක්ෂ සංඛ්‍යාත ජනතාව පෙළපාලියේ

  • 2017 ඔක්තෝබර් 4
The day of action drew big crowds in Barcelona and other major Catalan cities Image copyright AFP

ස්පාඤ්ඤයේ කැටලාන් ප්‍රදේශයට නිදහස ඉල්ලා සිටින ලක්ෂ සංඛ්‍යාත පිරිසක් අඟහරුවාදා (ඔක්තෝබර් 03) දිනය පුරාම වීථි බැස උද්ඝෝෂණවල නිරතව සිටියහ.

කැටලාන් පළාතට නිදහස ලබා දිය යුතු ද යන්න සම්බන්ධයෙන් පසුගිය ඉරිදා (ඔක්තෝබර් 01) පැවැත්වුණු ජනමත විචාරණයේ දී පොලිසියේ ප්‍රචණ්ඩ ක්‍රියාවලට එරෙහිවීම මෙම උද්ඝෝෂණයේ අරමුණය.

ජනමත විචාරණයේ ඡන්ද විමසීම වැළැක්වීමට පොලිසිය උත්සාහ කළ අවස්ථාවේ 900 කට ආසන්න පිරිසකට තුවාල සිදු විය. පොලිස් නිලධාරීන් 33 දෙනෙකු ද එහිදී තුවාල ලැබූහ.

අඟහරුවාදා උද්ඝෝෂණය හේතුවෙන් පළාතේ සියලුම පාසල්, කඩ සාප්පු සහ සෞඛ්‍ය මධ්‍යස්තාන වසා දමා තිබුණු අතර බාසෙලෝනා (Barcelona), ටරගෝනා (Tarragona) සහ ජිරෝනා (Girona) යන ප්‍රධාන නගර තුනේ පොදු ප්‍රවාහන සේවා ද සම්පූර්ණයෙන්ම අඩපන වී තිබිණ.

අධි වේගී මාර්ග ඔස්සේද උද්ඝෝෂකයන් විරෝධතාවල නිරතව සිටි හෙයින් ප්‍රධාන නගරවල සහ අධි වේගී මාර්ගවලද කිලෝමීටර ගණනාවක් දිගට වාහන තදබදයක් ද දක්නට ලැබිණ.

Image copyright EPA
Image copyright EPA

කළාපය තුළ පොලිසිය සීරුවෙන් තබන මෙන් අගමැති මරියානෝ රහෝයි (Mariano Rajoy) නියෝග කර තිබේ.

කළාපය තුළ කැරලිකාරී තත්වයකට අනුබල දෙන බවට මේ අතර අභ්‍යන්තර කටයුතු භාර අමාත්‍යවරයා කැටලාන් ප්‍රාදේශීය පරිපාලනයට චෝදනා කරයි.

ස්පාඤ්ඤ මධ්‍යම ආණ්ඩුව "හිරිහැර කිරීමේ සිදුවීම් නැවැත්වීම පිණිස සියලුම පියවර ගන්නා" බවට ද අමාත්‍යවරයා ප්‍රතිඥා දුන්නේය.

මේ අතර ප්‍රකාශයක් කරන නියෝජ්‍ය අගමැති සොරායා සඑන්ස් ද සන්තමරියා, ස්පාඤ්ඤ ඔලිස් නිලධාරීන් ලැගුම් ගෙන සිටින හෝටල් වට කළ උද්ඝෝෂකයන්ගේ "මාෆියා හැසිරීම" හෙළා දැක තිබේ.

ස්පාඤ්ඤයෙන් වෙන්ව නිදහසක් රාජ්‍යයක් බවට පත්විය යුතුද, නැද්ද යන්න පිළිබඳ මහජන මතය පිරික්සීමේ ජනමත විචාරණය කැඳවා තිබුණේ කැටලාන් ප්‍රාදේශීය පාර්ලිමේන්තුව විසිනි.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා අධිකරණය විසින් නීතියට පටහැණි යයි තීන්දු කරන ලද එම ජනමත විචාරණය නොපවත්වන මෙන් ස්පාඤ්ඤ ආණ්ඩුව නියෝග කර තිබුණි.

ලක්ෂ 22 කට අධික ජනකායක් ජනමත විචාරණය වෙනුවෙන් සිය ඡන්දය භාවිත කරන ලද බව සැලකෙන අතර, ඒ අතරින් 90% ක් කැටලාන් පළාතට නිදහස ලබාදීමට පක්ෂව ඡන්දය භාවිත කර තිබූ බව කැටලාන් පාර්ලිමේන්තුව පවසයි. කෙසේ නමුත් නිල ප්‍රතිඵල තවමත් නිකුත් වී නොමැත.

බාසෙලෝනා, ස්පාඤ්ඤයට අයත් ස්වයංපාලන බලතල සහිත භූමියක් වන කැටලාන් පළාතේ අගනුවරය.

සබැඳි විෂයයන්