"තාලිබාන්වරු මගේ දියණිය මැරුවා; බිරිඳ දූෂණය කළා"

  • 2017 ඔක්තෝබර් 14
Image caption ජොෂුවා එහි යන විට තම බිරිඳ ගැබිනියකව සිටියාය. ඇයගේ පළමු දරු ප්‍රසුතිය සඳහා වැඩි කලක් නොවීය

ඇෆ්ගනිස්ථානයේ තාලිබාන් සටන්කරුවන් තම බිලිඳු දියණිය මරා දැමු බවත් බිරිඳ දූෂණය කළ බවත් තාලිබාන් ග්‍රහණයෙන් මිදී සිය රට බලා පැමිණි කැනේඩියානු ජාතිකයෙක් පවසයි.

වසර පහකට ආසන්න කාලයක් තාලිබාන් ග්‍රහණයට හසුවී සිටි ජොෂුවා බෝයිල් වාර්තාකරුවන් ඉදිරියේ මේබව කියා සිටියේ සිය බිරිඳ සහ දරුවන් සමඟ කැනඩාවට පැමිණි මොහොතේදී ය.

සිය බිරිඳ සමඟ ඇෆ්ගනිස්ථානයේ සංචාරයක යෙදී සිටියදී තාලිබාන් කැරලිකරුවන් විසින් අල්ලා ගනු ලැබූ බව 2012 දී වාර්තා විය.

ජොෂුවා ගේ බිරිඳ වන කෙයිට්ලාන් කොල්මන් ගේ පියා කියා සිටියේ ඇෆ්ගනිස්ථානය වැනි භයානක රටක සංචාරය කිරීමට ගත් තීරණය "සිහි බුද්ධියකින් තොරව" ගෙන ඇති තීරණයක් බවය.

මෙම යුවළ ඇෆ්ගනිස්ථානයට ගොස් ඇත්තේ කුමන හේතුවක් සඳහා දැයි ජොෂුවා ගේ සහ කෙයිට්ලාන් ගේ දෙමාපියන්ගෙන් මීට පෙර ප්‍රශ්න කර තිබුණි.

Image caption ජොෂුවාගේ දරුවන් තිදෙනා ම උපත ලබා ඇත්තේ මෙම යුවළ තාලිබාන් ග්‍රහණයේ සිටි කාලය ඇතුළත ය

කෙසේ නමුත් ජොෂුවා වාර්තාකරුවන්ට කියා සිටියේ තාලිබාන් පාලනයේ පවතින ප්‍රදේශයක ගම්වැසියන්ට ආධාර බෙදා දීම සඳහා තමා බිරිඳ සමඟ එහි ගිය බවය.

ජොෂුවා එහි යන විට තම බිරිඳ ගැබිනියකව සිටියාය. ඇයගේ පළමු දරු ප්‍රසුතිය සඳහා වැඩි කලක් නොවීය.

ඔවුන් තාලිබාන් ග්‍රහණයෙන් මිදී නැවත කැනඩාවට පැමිණියේ දරුවන් තිදෙනෙකු සමඟ ය. මෙම දරුවන් තිදෙනා ම උපත ලබා ඇත්තේ මෙම යුවළ තාලිබාන් ග්‍රහණයේ සිටි කාලය ඇතුළත ය.

බාලම දරුවා ගේ සෞඛ්‍ය තත්වය එතරම් යහපත් නොවන බව පෙනෙන්නට තිබුණි.

"පළිගැනීමේ චේතනාවෙන්"

ජොෂුවා ගේ ප්‍රකාශයේ සඳහන් වන පරිදි එහිදී උපත ලද ඔවුන්ගේ හතරවැනි දරුවා තාලිබාන් කැරලිකරුවන් විසින් මරා දමනු ලැබ ඇත.

තමන්ව රඳවාගෙන සිටි හකානි කැරලි සංවිධානයට අයත් තාලිබාන්වරු සිය බිරිඳ දූෂණය කළ බව ද එම ප්‍රකාශයෙන් හෙළිදරව් කළේය.

ඔවුන්ගේ ඉල්ලීම් ඉටුකිරීම තමන් දිගින් දිගටම ප්‍රතික්ෂේප කිරීම නිසා පළිගැනීමේ චේතනාවෙන් කැරලිකරුවන් එසේ කළ බවද ඔහු පවසයි.

ඇෆ්ඝන් දේශ සීමාවට නුදුරින් සිදු කෙරෙනු මෙහෙයුමක දී ඇමරිකානු හමුදාවට ලැබුණු ඔත්තුවක් අනුව පකිස්තානු හමුදාව ක්‍රියාත්මක වී මෙම යුවළ සහ දරුවන් බේරාගෙන ඇත.

කලින් විවාහය

අනතුරුව පකිස්තානයෙන් පිටවීම සඳහා ඇමරිකානු යානයකට ගොඩවීම, ජොෂුවා විසින් ප්‍රතික්ෂේප කරනු ලැබූ බව මීට පෙර වාර්තා වී තිබුණි.

ජොෂුවා මීට පෙර විවාහ වී සිට ඇත්තේ රැඩිකල් ඉස්ලාමීය අදහස් දරන කාන්තාවක සමඟ ය. ඇය, ග්වන්තනමෝ සිර කඳවුරේ රඳවා සිටි ඕමාර් ඛාදර් ගේ සොහොයුරිය යි.

එම නිසා එක්සත් ජනපද බලධාරීන් තමන්ට එරෙහිව නඩු පවරනු ඇතැයි යන සැකය මත ඇමරිකානු ගුවන් යානයකට ගොඩවීමට අකමැති වන්නට ඇති බව CNN පුවත් සේවය වාර්තා කළේය.

නමුත් කැනඩාවට පැමිණි මොහොතේ ජොෂුවා එම වාර්තාව ප්‍රතික්ෂේප කළේය.

ඔහු කියා සිටියේ සිදු වූ සියල්ල අමතක කර තමන්ට සහ තම දරු පවුලට අලුත් ජීවිතයක් ආරම්භ කිරීමට අවශ්‍ය බවය.