රටක් නැති වැසියෝ: "මට ආදරය කරන රටක් සොයා ගියෙමි"

මහා මමු

මහා මමු ලෙබනනයේ උපත ලැබූ සිරියානු ජාතික තරුණියකි.

එහෙත් ඇයට, ඇයගේ සොහොයුරාට සහ සොහොයුරියට සිරියාවේ පුරවැසිභාවය අහිමිය.

ඒ ඔවුන්ගේ මව ඉස්ලාම් භක්තික කාන්තාවක සහ පියා ක්‍රිස්තියානි භක්තිකයෙකු වීම හේතුවෙනි. මිශ්‍ර විවාහයක් බැවින් ඔවුන් දෙදෙනා අතර විවාහය සිරියානු බලධාරීන් පිළිනොගැනීම එයට හේතුවයි.

සිරියාවේ අඹු සැමි යුවලක් අතර විවාහය නිල වශයෙන් පිළිනොගන්නේ නම් ඔවුන්ට දාව උපත ලබන දරුවන්ට එරට පුරවැසිභාවය හිමි නොවේ.

ඔවුන්ට පුරවැසිභාවය ලබාදීම ලෙබනනය ද ප්‍රතික්ෂේප කරයි.

"මට රටක් නෑ," මහා පවසන්නීය.

"ඒ නිසා මම ලෙබනන් ජාතිකයෙකුත් නෙවෙයි, සිරියානු ජාතිකයෙකුත් නෙවෙයි."

ඔබේ දුරකථනයේ හෝ පරිගණකයේ මෙය වාදනය කිරීමට අදාළ මෘදුකාංග නැත
මිශ්‍ර විවාහයක දරුවෙකු වීම හේතුවෙන් රටක් අහිමිවීම

මේ ගැටලුව හේතුවෙන් තෙවසරකට ආසන්න කාලයක් මුළුල්ලේම ඇයට සිය මව දැකගැනීමට ද නොලැබිණ.

පුරවැසිභාවයක් අහිමි බැවින් කිසිදු විදෙස් චාරිකාවක නිරතවීම පමණක් නොව රෝගාබාධයකට ප්‍රතිකාර ගැනීම පිණිස ජාතික සෞඛ්‍ය සේවයේ පිහිට පැතීමේ අවස්ථාව ද ඔවුන්ට අහිමි කරනු ලැබ තිබුණි.

"මගේ දුක කියමින් මම හැම රටකම තානාපති කාර්යාලවලට ගියා," මහා පවසන්නීය.

"අපිව පිළිගත්තේ බ්‍රසීලය විතරයි."

දේශපාලන අනාථයන් ලෙසින් බ්‍රසීලය විසින් ඔවුන් භාරගනු ලැබීමෙන් අනතුරුව පැය 48 ක් ඇතුළත ලෙබනනයෙන් පිටවන මෙන් මහා සහ ඇයගේ සොහොයුරාටත් සොහොයුරියටත් දන්වනු ලැබිණ.

වහාම ෆේස්බුක් පිහිට පැතූ ඔවුහු බ්‍රසීලයේ දී තමන් භාරගැනීමට කැමති කාන්තාවක සොයා ගත්හ.

ඇය එමිලින්ය.

මහා දැන් බ්‍රසීලයේ ගොවිපොලක සේවය කරමින් සිටියි.

ඔවුහු බ්‍රසීලයට පැමිණ මේ වනවිට දෙවසරක් සහ මාස දහයක් ගත වී ගොසිනි. තෙවසරකට ආසන්න කාලයක් සිය දරු තිදෙනා නොදුටු ඔවුන්ගේ මව ද ඔවුන් සොයා බ්‍රසීලයට පැමිණියාය.

එහෙත් මව පැමිණෙන විට දරු තිදෙනා අතරින් එක් දරුවෙක් මෙලොව හැර ගොසිනි.

බ්‍රසීලයේදී මහා ගේ සොහොයුරා පැළඳ සිටි අත් ඔරලෝසුව පැහැර ගැනීමට පැමිණි සොර මුලක් ඔහුට වෙඩි තබා මරා දමා තිබුණි.

"මාව පිළිගත්තේ මේ රට විතරයි," මහා පවසන්නේ සතුට සහ ශෝකය මිශ්‍ර හැඟීමකින් බ්‍රසීලයේ සිය මිතුරිය, එමිලින්, වැළඳ ගනිමිනි.

මේ පුවතට සම්බන්ධ තවත් විස්තර

බීබීසී යෙන්