කාන්තාවන්ට "අනතුරුදායකම" මහා නගරය

  • 2017 ඔක්තෝබර් 16
Image caption ඊජිප්තුවේ ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදිනී ශහිරා අමින් කියා සිටියේ මංමාවත් හරහා ඇවිද යාමේදී පවා කාන්තාවන් සියලු ගණයේ හිරිහැරවලට ගොදුරුවන බවය

ලොව ඇති මහා නගර අතරින් කාන්තාවන්ට "වැඩියෙන්ම අනතුරුදායක" නගරය ලෙස ඊජිප්තුවේ කයිරෝ නුවර නම් කර තිබේ.

ලොව පුරා කාන්තාවන් දශ ලක්ෂයක් පමණ යොදා ගනිමින් කරන ලද සමීක්ෂණයකින් පසුව නිකුත් කරන ලද වාර්තාවක මේ බව සඳහන් වේ.

මහා නගර 19ක් තුළ වෙසෙන කාන්තාවන්ගෙන් මෙම සමීක්ෂකයන් විමසා ඇත්තේ කාන්තාවන්ට එරෙහිව සිදුවන ලිංගික හිංසාවලින් බේරී සිටීම සඳහා තමන්ට කෙතරම් ආරක්ෂාවක් සැලසී ඇතිද යන්නයි.

මේ සඳහා ජාත්‍යන්තර සමීක්ෂණයක් සිදුකළ ප්‍රථම අවස්ථාව මෙය බව සඳහන් වේ.

කාන්තාවන්ට මිත්‍රශීලීම මහා නගරය ලෙස වාර්තා වී ඇත්තේ ලන්ඩන් නුවරයි. එම ලැයිස්තුවේ දෙවැනි සහ තෙවැනි ස්ථානය අනුපිළිවෙළින් ටෝකියෝ සහ පැරිස් නුවරට හිමි වී තිබේ.

Image caption ඊජිප්තුවේ කයිරෝ නුවර

ලන්ඩනයේ මහජන සේවාවන්, කලා නිර්මාණ, ව්‍යාපාර සහ දේශපාලනය ඇතුළු සෑම අංශයකම පාහේ ඉහළින්ම සිටින්නේ කාන්තාවන් බව ලන්ඩන් නුවර නගරාධිපතිවරයා කියා සිටියේය.

කාන්තා අයිතිවාසිකම් වෙනුවෙන් පෙනී සිටින කයිරෝ නුවර ක්‍රියාධරයන් පවසන්නේ සියවස් ගණනාවක් තිස්සේ කාන්තාවන් වෙනස් කොට සැළකීමේ සම්ප්‍රදායක් එහි පවතින බැවින් ඊට එරෙහිව පියවර ගැනීම ඉතා අසීරු වී ඇති බවය.

ඊජිප්තුවේ කාන්තාවන්ට ආධ්‍යාපනය, මිලමුදල් සහ සෞඛ්‍ය සේවා සඳහා ද සීමා පැනවී ඇත.

කයිරෝ නුවර කාන්තාවන්ට සියල්ල අසීරුවී ඇති බව ඊජිප්තුවේ ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදිනී ශහිරා අමින් පැවසුවාය. ඇය තවදුරටත් කියා සිටියේ මංමාවත් හරහා ඇවිද යාමේදී පවා කාන්තාවන් සියලු ගණයේ හිරිහැරවලට ගොදුරුවන බවය.

කාන්තාවන්ට අනතුරුදායකම මහා නගර ලැයිස්තු ගත කිරීමේ දී කයිරෝ නුවරට පහළින් අනුපිළිවෙලින් ලියැවී ඇත්තේ පකිස්ථානයේ කරච්චි නුවර, කොංගෝවේ කින්ශාසා සහ ඉන්දියාවේ දිල්ලි නුවරයි.

මෙම ජාත්‍යන්තර සමීක්ෂණය සිදු කරනු ලැබ ඇත්තේ තොම්සන් රොයිටර්ස් පදනම (Thomson Reuters Foundation) විසිනි.

ලිංගික හිංසනය, ලිංගික ප්‍රචණ්ඩත්වය සහ ස්ත්‍රී දූෂණය සඳහා අවදානම වැඩියෙන්ම පවතින නගර හැටියට දිල්ලිය සහ බ්‍රසීලයේ සාඕ පවුලෝ නුවර නම්කර ඇත.

අනුපාතයක් ලෙස, බ්‍රසීලයේ වයස 16 හෝ ඊට වැඩි කාන්තාවන් තිදෙනෙකුගෙන් එක් කාන්තාවක් කුමන ආකාරයක හෝ ශාරීරික, මානසික හෝ වාචික ප්‍රචණ්ඩත්වයට ගොදුරු වී ඇත.

මේ පුවතට සම්බන්ධ තවත් විස්තර