IS සංවිධානයට 'රකා' නගරය අහිමි වෙයි

Image copyright AFP
Image caption නගරය දිනා ගැනීමට තුන්දාහක ජීවිත වන්දියක්

ඉස්ලාමීය රාජ්‍ය කැරලිකරුවන් විසින් ඔවුන්ගේ අගනුවර ලෙස ප්‍රකාශයට පත්කර තිබුණ 'රකා'(Raqqa) නගරය, ඇමෙරිකා එක්සත් ජනපදයේ සහයෝගය ලබන සිරියානු - කුර්දි සහ අරාබි ප්‍රහාරකයන්ගෙන් සැදුම් ලත් යුද සන්ධානයක් අතට පත්ව ඇත.

බිහිසුණු ගැටුමකින් පසු 'කුර්දි' YPG හමුදාව අතට පත් 'රකා' නාගරික ක්‍රීඩාංගනයේ ඔවුන්ගේ කොඩිය ළෙලදෙමින් ඇත.

'කුර්දි' YPG හමුදාව සිය ධජය ඔසවන ලද මොහොතේ එහි උත්සවශ්‍රීයක් පැවති බවත් වාර්තා වෙයි.

කුර්දි YPG සටන්කාමීන්ගේ ධජය ඔසවමින් තිබියදී යුද සන්ධානයේ ප්‍රහාරකයන් රථ වාහනවල නැගී සටන් පාඨ කියමින් මහාමාර්ග ඔස්සේ සැරි සරමින් සිටියහ.

ඒ අතර YPG හමුදාව භටයෝ පරාජිත IS ප්‍රහාරකයන් ලුහු බඳිමින් සිටින බවත් වාර්තා වෙයි.

Image copyright AFP
Image caption නගරය මුදා ගැනීමේ සතුට

නගරය මුදා ගනු ලැබ තිබෙන්නේ විශාල ජීවිත වන්දියක් ගෙවීමෙන් වන වන අතර නිරීක්ෂකයන් පවසන ආකාරයට සටනේ දී තුන් දාහකට අධික ජීවිත විනාශයක් සිදුව ඇත.

ඔවුන්ගෙන් තුනෙන් එකක් සාමාන්‍ය වැසියන් වන බවත් පැවසෙයි.

IS සංවිධානය විසින් ප්‍රකාශිත ඉස්ලාමීය රාජ්‍යයේ දැන් ඔවුන්ට ඉතිරිව පවතින්නේ ඉරාක් -සිරියානු දේශ සීමාවේ නගර කීපයක් පමණි.

එහෙත් ප්‍රචණ්ඩ 'ජිහාඩ්වාදීන්' සහමුළින්ම පරාජය කිරීමක් ඉන් අදහස් නොවන බව බීබීසී වාර්තාකරුවෙක් පවසයි.

මේ අතර ප්‍රකාශයක් කළ IS විරෝධී යුද සන්ධානයේ නියෝජ්‍ය අණදෙන නිලධාරී මේජර් ජනරාල් රූපට් ජෝන්ස්, මෙම ජයග්‍රහණය සමඟ සමස්ත IS විරෝධී සටනේ නිමාවක් සනිටුහන් නොවන බව කියා සිටියේය.

"නගරය දිනා ගන්න මාස හතර හමාරක් ගත වුනා. ඒත් නගරය සහමුලින්ම නිදහස් නැහැ. අපි අවසන් නිවේදනය කෙරෙන තෙක් ඉවසිල්ලෙන් ඉන්න ඕන. IS කියන්නේ ඉතාම දැඩි අනුකම්පා විරහිත හමුදාවක්. මනුෂ්‍යත්වයක් නැති හමුදාවක්" මේජර් ජනරාල්වරයා සඳහන් කළේය.

IS සංවිධානය ස්වයං ප්‍රකාශිත සිය . 'රකා' අගනුවර ඉස්ලාම් නීතිය අන්තවාදී ආකාරයට අර්ථ ගැන්වීම් සඳහාත්, තමන් අතට පත් තමන්ට එරෙහි මිනිසුන්ගේ හිස ගසා මරා දැමීමටත්, වධ හිංසා සිදු කිරීම සඳහාත් මධ්‍යස්ථානයක් බවට පත්කර ගෙන තිබුණි.

ඉස්ලාමීය රාජ්‍ය සංවිධානයේ නායක අබු බකර් අල් - බග්ඩාඩි ගේ කැඳවීම අනුව ලෝකයේ බොහෝ රටවලින් පැමිණි දහස් ගණනක් ජිහාඩ්වාදීන් ගේ නිවහන බවට පත්ව තිබුනේත් 'රකා'නගරයයි.

Image copyright Reuters
Image caption ඉස්ලාමීය රාජ්‍ය සංවිධානයේ නායක අබු බකර් අල් - බග්ඩාඩි

'රකා' අත්පත් කර ගැනීමට මුල් වූ SDF යුද සන්ධානය සිරියානු ආණ්ඩුවේ හමුදා සමඟ එකට එක්ව IS විරෝධී සටනේ නිරත නොවෙති.

ඒ වෙනුවට ඔවුහු ඇමෙරිකානු යුද ආධාර ලබති.

එම සිරියානු සන්ධානයේ උවමනාව ජනාධිපති බෂාර් අල් අසාද් ගේ ආණ්ඩුවත් පෙරළා දැමීමයි.

SDF යුද සන්ධානය, ඇමෙරිකානු අවි ආයුධ සහ විශේෂ හමුදාවන්හි සහයෝගය මෙන්ම ගුවන් ප්‍රහාර ආධාරය ද ඇතිව සතරැස් සැතපුම් 8000 කට අධික භූමියකින් IS හමුදා නෙරපා හැරීමට සමත් විය.

එම මෙහෙයුම ආරම්භ කර තිබෙන්නේ පසුගිය වසරේ නොවැම්බර් මාසයේය.

Image copyright Reuters
Image caption 'රකා' ගැටුම් නිසා 270000 ක් ජනයාට උන්හිටි තැන් අහිමි විය

'රකා' නගර සීමාවේ ඉදි කරනු ලැබ ඇති IS ආරක්ෂක මුර වළලු පසුගිය ජුනි මාසයේ බිඳ නගරයට ගමන් ගැනීමට පෙර ඔව්හු ක්‍රමයෙන් නගරය වට කර තිබුණි.

'රකා' නගරයේ පිහිටි ජාතික රෝහල සහ නාගරික ක්‍රීඩාංගණය ඇතුළු IS මධ්‍යස්ථාන ඔක්තෝබර් 17 වෙනි දින තමන් යටතට ගැනීමට SDF යුද සන්ධානය සමත් විය.

සබැඳි පුවත්;