මානව ඉතිහාසයේ සිදු වූ 'මහා විෂ ශරීරගතවීම" නිමාවන ලකුණු

ඔබේ දුරකථනයේ හෝ පරිගණකයේ මෙය වාදනය කිරීමට අදාළ මෘදුකාංග නැත
දුම්මල කැට අහුරකට මෙතරම් දෙයක් කළ හැකිවීම ආශ්චර්‍යයකි

දුම්මල කැට අහුරකට මෙතරම් දෙයක් කළ හැකිවීම ආශ්චර්‍යයකි. මිලියන ගණනක් ජනතාව මුහුණ දෙන ජීවිත අවදානමක් තුරන් කිරීමට ඊට හැකියාව පවතී.

බංග්ලාදේශයේ පමණක් මිලියන 20කට අධික පිරිසක් ආසනික් විෂ ශරීරගත වීමේ අවදානමට මුහුණ දෙන බව හියුමන් රයිට්ස් වොච් සංවිධානය පවසයි.

දැනටමත් මිලියන ගණනක් ඊට ගොදුරුවී පීඩා විඳිති. ලෝක සෞඛ්‍ය සංවිධානය මෙය හඳුන්වන්නේ "මිනිස් ඉතිහාසයේ විශාලතම විෂ ශරීරගතවීම" ලෙසිනි.

1940 පටන් බංග්ලාදේශය පුරා ඉදි වූ නළ ළිං ප්‍රමාණය මිලියන ගණනකි. අඩු මිලට පිරිසිදු ජලය ලබා ගත හැකි මෙම නළ ළිං 1970 පටන් රජයේ සහ රාජ්‍ය නොවන සංවිධානවල සහාය ඇතිව රට පුරා ඉදිවෙන්නට විය.

නමුත් 1980 දශකයේ පටන් ආසනික් විෂවීම වාර්තා වන්නට පටන් ගත්තේය.

සම මතුපිට කුෂ්ට

ජලයේ ආසනික් පවතින බව පියවි ඇසට දැකගත නොහැකිය. ගන්ධයක් හෝ නොමැත. ආසනික් ශරීරගත වී ඇති බව දැන ගන්නට ලැබෙන පළමු අවස්ථාව වන්නේ සම මතුපිට දද හෝ කුෂ්ට මතුවීම ය.

ආසනික් ශරීරගත වීම හේතුවෙන් හෘදයාබාධ සහ පිළිකා ඇතිවිය හැකි අතර, චර්ම රෝගයේ බාහිර ලක්ෂණ ලාදුරු රෝගය හා සමානය. එය වැළඳීමෙන් අනතුරුව බොහෝ දෙනා සමාජයෙන් කොන් වෙයි.

Image caption සියාටන් නෙසා ගේ මුළු පවුලම ඊට ගොදුරුවී තිබේ

සියාටන් නෙසා ගේ සිරුර පුරා සම මතුපිට කුෂ්ට මතුවී ඇත්තේ ආසනික් විෂ ශරීරගත වීම හේතුවෙනි.

මේ චර්ම රෝගයෙන් පීඩා විඳින්නේ මැදිවිය ඉක්මවූ ඇය පමණක් නොවේ. ඇගේ මුළු පවුලම ඊට ගොදුරුවී තිබේ.

"මේ ළිඳ නිසා මගේ ඇඟ පුරාම පැල්ලම් හැදිලා. මට දුක මගේ ළමයි ගැන. ඒ අයව කසාද බඳින්න කවුරුවත් කැමති නැහැ." සියාටන් නෙසා දුක්මුසුව පැවසුවාය.

මෙම නළ ළිං ඉවත් කිරීමට රජය උත්සාහයක යෙදී සිටියත් පිටිසර ගම්මානවල බොහෝ දෙනෙකුට දිය සැපයෙන එකම මාර්ගය නළ ළිඳ ය. ඇතැමුන් එම නළ ළිං තනාගෙන ඇත්තේ තම පෞද්ගලික ධනයෙනි.

#BBC Innovators

ආසනික් විෂවීමෙන් බංග්ලාදේශයේ සෑම වසරකම 43,000ක් මිය යන බවට හියුමන් රයිට්ස් වොච් සංවිධානය ඇස්තමේන්තු කර තිබේ.

මින්හාජ් චෝධුරි විසිඅට හැවිරිදිය. ඔහු හැදී වැඩුනේ එක්සත් ජනපදයේ ය. පාසල් නිවාඩුවට තම ඥාතීන් බැහැදැකීම සඳහා බංග්ලාදේශයට පැමිණීමට ඔහු අමතක නොකළේය.

"ඇමරිකාවේදී අපිට පානීය ජලය ගැන කිසිම ප්‍රශ්නයක් නැහැ. මට හරිම දුකක් ඇතිවුනා බංග්ලාදේශයේ තත්වය ගැන. මම මවිත උනා. බංග්ලාදේශයේ සෑම මරණ පහකින් එකක් ම ජලයට සම්බන්ධ හේතුවක් මත සිදු වූ මරණයක්." මින්හාජ් පැවසීය.

Image caption "ඇමරිකාවේදී අපිට පානීය ජලය ගැන කිසිම ප්‍රශ්නයක් නැහැ. මට හරිම දුකක් ඇතිවුනා බංග්ලාදේශයේ තත්වය ගැන" -මින්හාජ් චෝධුරි

අපවිත්‍ර ජලය හේතුකොට ගෙන මින්හාජ් ගේ සීයා ද මරණයට පත්වීමෙන් පසු ඔහු ඒ ගැන සිතන්නට විය.

මේවනවිට ආචාර්ය අරුප් කේ සෙන්ගුප්තා ඉන්දියාවේ ජල පවිත්‍රතා වැඩසටහනක යෙදී සිටියේය. ඒ සඳහා ඔහු එක්තරා දුම්මල වර්ගයක් යොදාගෙන තිබුණි.

ආචාර්ය සෙන්ගුප්තා සමඟ එක්වී බංග්ලාදේශයේ මින්හාජ් 2013 දී 'ඩ්‍රින්ක්වෙල්' ව්‍යාපෘතිය ආරම්භ කළේය.

මේ දුම්මල කැට මගින් ජලයේ පවතින ආසනික් විෂ ඉවත් කළ හැකිය. එසේ කිරීමෙන් අනතුරුව 'ඩ්‍රින්ක්වෙල්' පෙරනයන් හරහා තවත් ටැංකි කිහිපයකට එම ජලය ගලා යාමට සලස්වනු ඇත.

ජලයට මුසුවී ඇති අනෙකුත් විෂ ද්‍රව්‍ය එමගින් ඉවත් කෙරෙනු ඇත.

මෙම පිරිසිදු ජලය විකුණා ලැබෙන ලාභයෙන් 'ඩ්‍රින්ක්වෙල්' පද්ධතිය නඩත්තු කෙරේ.

'ඩ්‍රින්ක්වෙල්' පිරිසිදු ජල ලීටර 20ක් විකිණෙන්නේ ඩොලර් 0.05ත් 0.12ත් අතර සුළු මුදලකට ය.

Image caption බංග්ලාදේශයේ මානික්ගාන්ජ් දිස්ත්‍රික්කයේ 'ඩ්‍රින්ක්වෙල්' ව්‍යාපෘතිය මෙහෙයවන අභිබුර් රෙහ්මාන්

ව්‍යවසායකත්වයට අවස්ථාවක්

එක්සත් ජාතීන්ගේ සංවිධානය පවසන්නේ නිසි නඩත්තුවක් නොමැති කම හේතුවෙන් ජල සැපයුම් යෝජනා ක්‍රමවලින් 30%ත් 50%ත් අතර ප්‍රමාණයක් අසාර්ථකවී ඇති බවය.

බංග්ලාදේශයේ පවතින ආසනික් විෂවීමේ ප්‍රශ්නයට විසඳුමක් ලබාදීමෙහි ලා සමාජ ව්‍යවසායකයන් සතු කාර්යභාරයක් පවතින බව බංග්ලාදේශයේ 'වෝටර් ඒඩ්' ආයතනයේ අධ්‍යක්‍ෂ ආචාර්ය ඛයිරුල් ඉස්ලාම් ගේ අදහසය.

ඔහු බීබීසීයට අදහස් දක්වමින් කියා සිටියේ ජල සැපයුම් පවත්වාගෙන යාම සහ ඒවා නඩත්තු කිරීම දැනට පවතින ප්‍රධානම ප්‍රශ්නය බවය.

අනාගතය

2015 දී බංග්ලාදේශයේ මානික්ගාන්ජ් දිස්ත්‍රික්කයේ ද 'ඩ්‍රින්ක්වෙල්' ව්‍යාපෘතිය දියත් විය.

මේවනවිට මෙම ව්‍යාපෘතිය හරහා දිනකට 750 දෙනෙක් තම ජල අවශ්‍යතාව සපුරා ගනිති.

දිනකට සැපයෙන ජල ලීටර ප්‍රමාණය 150,000කි.

අනතුරුව 'ඩ්‍රින්ක්වෙල්' ජල පෙරනය සහිත ව්‍යාපෘතිය රට පුරා ව්‍යාප්ත විය. බංග්ලාදේශයේ ලක්ෂයකට අධික ජනතාවක් ඒ හරහා පිරිසිදු ජලය ලබා ගනිති.

මෙය 'ඩ්‍රින්ක්වෙල්' ව්‍යාපෘතියේ ආරම්භය පමණක් බව මින්හාජ් චෝධුරි අදහසයි.

අනාගතයේදී ආසියාව පුරා මිලියන ගණනක් වූ ජනතාව අතරට එය ගෙන යාහැකි බවට ඔහු විශ්වාස කරයි.

#BBCInnovators

#bbcinnovators

  • මෙය බීබීසී ලෝක සේවයේ නිෂ්පාදනයකි. මූල්‍ය දායකත්වය බිල් සහ මෙලින්ඩා ගේට්ස් පදනමෙනි.

සබැඳි යොමු: