කැටලෝනියාවේ ස්වයං පාලනය 'අත්හිටුවනවා'

  • 2017 ඔක්තෝබර් 19
There are fears that the latest moves could lead to unrest in Catalonia Image copyright Getty Images

කැටලෝනියාවේ ස්වයං පාලනය අත්හිටුවීමේ ක්‍රියාදාමය ලබන සෙනසුරාදා සිට ආරම්භ කරන බව ස්පාඤ්ඤය නිවේදනය කළේය.

ස්පාඤ්ඤය එම පියවර ගනු ලැබ තිබෙන්නේ කැටලෝනියාව නිදහස් රාජ්‍යයක් ලෙසින් ප්‍රකාශයට පත් කරන බවට එහි නායකයා තර්ජනය කිරීමෙන් අනතුරුවය.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 155 වෙනි වගන්තිය ක්‍රියාවට නැගීම පිණිස ස්පාඤ්ඤ කැබිනට් මණ්ඩලය ලබන සෙනසුරාදා රැස් වෙන බව අගමැති මරියානෝ රහොයි (Mariano Rajoy) නිකුත් කළ නිවේදනයක දැක්වේ.

කැටලෝනියාව සෘජු පාලනයට පවරා ගැනීමට 1978 දී සම්මත කරන ලද ව්‍යවස්ථාවේ 155 වගන්තිය මගින් ස්පාඤ්ඤයට අවස්ථාව සැලසේ.

ජනරාල් ෆ්‍රන්කෝ ගේ ඒකාධිපති පාලනය පෙරලා දැමීමෙන් වසර තුනකට පසුව සම්මත කෙරුණු 1978 ව්‍යවස්ථාව මගින් රටේ යළිත් වරක් ප්‍රජාතන්ත්‍රවාදය ස්ථාපිත කෙරුණු අතර, එහි 155 වෙනි වගන්තිය එවක් පටන් මේ වන තුරු ක්‍රියාවට නගා නැත.

ස්පාඤ්ඤය දිගින් දිගටම තමන්ට එරෙහිව "මර්දනය දියත් කළහොත්" ස්වාධීන රාජ්‍යයක් ප්‍රකාශයට පත් කිරීම පිළිබඳව කැටලෝනියාවේ පාර්ලිමේන්තුවේ ඡන්දය විමසන බවට කැටලෝනියාවේ නායක කාලෙස් පුෂ්දිමොන් (Carles Puigdemont) මීට ඉහතදී පැවසීය.

එසේ වුවහොත් කළාපයේ යළිත් වරක් ප්‍රචණ්ඩත්වය පැතිර යනු ඇතැයි බිය පළවෙමින් පවතී.

මැඩ්රිඩ් පාලනයේ දැඩි විරෝධය මැද පසුගියදා පැවති ජනමත විචාරණයෙන් අනතුරුව කැටලෝනියාව සහ මැඩ්රිඩ් පාලනය අතර උණුසුම් තත්ත්වයක් හටගත්තේය.

ජනමත විචාරණයේ දී බහුතර ජනතාව නිදහස රාජ්‍යයක් ප්‍රකාශයට පත් කිරීමට පක්ෂව ඡන්දය භාවිත කළ බව කැටලෝනියාවේ නායකයන් පවසන නමුත්, එය නීති විරෝධී ජනමත විචාරණයක් යන්න ස්පාඤ්ඤයේ ස්ථාවරය වී තිබේ.

සබැදි යොමු :

මේ පුවතට සම්බන්ධ තවත් විස්තර