සියයක් කාන්තාවෝ: ලිංගික හිංසනයට වැට බැඳීමට 'රෝස බස්'

ඔබේ දුරකථනයේ හෝ පරිගණකයේ මෙය වාදනය කිරීමට අදාළ මෘදුකාංග නැත
තුර්කියේ 'රෝස බස්' වල ගමන් කරන කාන්තාවන්ගේ අදහස්

පොදු ප්‍රවාහන සේවාවල දී කාන්තාව මුහුණ දෙන ලිංගික හිංසන ලොව පුරා බොහෝ රටවලින් අසන්නට ලැබෙන දුක්බර පුවතකි.

එයට වැට බැඳීම පිණිස ලොව බොහෝ රටවල් විවිධ උපක්‍රම දියත් කරති.

පොදු ප්‍රවාහන සේවාවල දී කාන්තාවන්ට ලිංගික අතවර කරන පුරුෂයන් නින්දාවට පත්කිරීමේ අරමුණින් මෙක්සිකෝ නගරයේ උමං දුම්රියක පසුගියදා 'ලිඟු ආසනයක්' සවි කර තිබුණි.

බ්‍රිතාන්‍යයේ පවා කාන්තාවන් උදෙසා වෙන් වූ දුම්රිය මැදිරි සකස් කළ යුතු බව පසුගියදා බ්‍රිතාන්‍ය මන්ත්‍රීවරයෙක් ද යෝජනා කර තිබුණි.

ශ්‍රී ලංකාවේ කාන්තාවන් 90% කට වැඩි පිරිසක් පොදු ප්‍රවාහන සේවාවල දී ලිංගික හිරිහැරවලට ලක්වන බව අනාවරණය වීමෙන් අනතුරුව ඒ පිළිබඳව ජනතාව දැනුවත් කිරීමේ වැඩසටහනක් කාන්තා කටයුතු අමාත්‍යාංශය, පොලිසිය සහ එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මෙහෙයවීමෙන් දියත් කෙරුණි.

පොදු ප්‍රවාහන සේවාවල දී තමන් මුහුණ දෙන වේදනාබර අත්දැකීම ශ්‍රී ලාංකික කාන්තාවන් පිරිසක් පසුගියදා බීබීසී සිංහල සේවයට ද හෙළි කළහ.

ඔබේ දුරකථනයේ හෝ පරිගණකයේ මෙය වාදනය කිරීමට අදාළ මෘදුකාංග නැත
"ඔහු මගේ පියයුර ස්පර්ශ කළා"

මේ අතර තුර්කියේ ප්‍රධාන නගරයක බලධාරීහු ලිංගික හිංසනය වැළැක්වීම පිණිස තවත් අත්හදා බැලීමක් දියත් කර තිබේ.

ඒ කාන්තාවන් උදෙසාම වෙන් වූ රෝස පැහැති බස් රථ සේවයකි.

මේ වන විට 'රෝස බස්' දෙකක් නගරයේ ප්‍රවාහන සේවා සඳහා යොදවා තිබෙන අතර, ඒ බස් රථ මගින් දිනකට 1000 කට අධික කාන්තාවන්ට ප්‍රවාහන පහසුකම් සපයති.

එහෙත් 'සියයක් කාන්තාවෝ' වාර්ෂික විශේෂාංගය වෙනුවෙන් බීබීසී ය කළ විමසුමකට අනුව, ලිංගික හිංසනය තුරන් කිරීම් වස් කාන්තාවන් උදෙසාම බස් රථ වෙන් කිරීම නගරයේ ඇතැම් කාන්තාවෝ අනුමත නොකරති.

"පිරිමි එක්ක කථාකරන්න හරිම අමාරුයි. එයාල එක්ක හිරවෙලා යන්න අපිට ඕනේ නෑ," පාලක ඒකේ (AK) පක්ෂය විසින් මලත්යා (Malatya) නගරයේ ධාවනය කරවනු ලබන රෝස පැහැති බස් රථයක ගමන් කරමින් සිටි කාන්තාවක් බීබීසී යට කියා සිටියාය.

Image copyright YOUTUBE
Image caption මෙක්සිකෝ උමං දුම්රියේ 'ලිඟු ආසනය'

"බස්වල යන ගමන් අපි මොකටද පිරිමින්ගේ පහත් කතා අහගෙන ඉන්නේ? කාන්තාවෝ ඉන්න තැන්වල ගරු සරු ඇතිව හැසිරෙන්නවත්, විනීතව කතාකරන්නවත් එයාල දන්නේ නෑ," ඇය පවසන්නීය.

"ඒ නිසා රෝස පාට බස් හරිම අපූරුයි."

එහෙත් ඒ බස් රථයේම ගමන් කළ තවත් කාන්තාවක් පළ කළේ ඊට වඩා වෙනස් අදහසකි.

"මම හිතන්නේ රෝස පාට බස් කියන්නේ මේ රටේ සහ මේ නගරයේ ඉන්න පිරිමින්ට කරන අපහාසයක්," ඇය කියා සිටියාය.

"කාන්තාවන්ට ගරු කරන්න එයාල දන්නේ නැද්ද? ඇයි එයාල වෙන බස් එකක යන්නේ?."

කාන්තාවන් සඳහාම වෙන් වූ එවැනි තවත් ප්‍රවාහන සේවා හඳුන්වා දීමට මේ අතර තුර්කි බලධාරීහු සැලසුම් කරති.

සබැඳි යොමු: