උතුරු කොරියාව න්‍යෂ්ටික හැකියාවේ "මස්තකයේ"

  • 2017 ඔක්තෝබර් 20
Image copyright Reuters

එක්සත් ජනපදයට න්‍යෂ්ටික මිසයිලයකින් පහර දීමේ හැකියාවේ මස්තකයට ම උතුරු කොරියාව පැමිණ ඇති බව CIA රහස් ඔත්තු සේවයේ අධ්‍යක්ෂ මයික් පොම්පෙඕ අනතුරු අඟවයි.

වොෂින්ටන් පාලනය තවමත් රාජ්‍යතාන්ත්‍රික සාකච්ඡා සහ සම්බාධක කෙරෙහි වැඩි කැමැත්තක් දක්වන නමුත් අවශ්‍ය වුවහොත් හමුදාමය පියවරක් ගැනීම ද, තෝරාගතහැකි අංගයක් ලෙස පවතින බව ඔහු අවධාරණය කළේය.

එක්සත් ජනපදයට පහර දීමේ හැකියාව තමන් සතු වන බව උතුරු කොරියාව මීට පෙර පවසා තිබුණි.

උතුරු කොරියානු මිසයිල විශේෂඥයන් මේ වනවිට කඩිනමින් ඉදිරියට යමින් සිටින හෙයින් සිය ඉලක්කය සපුරා ගන්නා මොහොත පිළිබඳව ස්ථිර අදහසක් ලබාගැනීම ඇමරිකානු ඔත්තු සේවාවන්ට දුෂ්කර වී ඇති බවද CIA අධ්‍යක්‍ෂවරයා පැවසීය.

ඔහු මේබව වොෂින්ටනයේ දී කියා සිටියේ 'ප්‍රජාතන්ත්‍රවාදයේ ආරක්‍ෂාව සඳහා වන පදනමේ' රැස්වීමක් අමතමිනි.

Image copyright Getty Images
Image caption CIA රහස් ඔත්තු සේවයේ අධ්‍යක්ෂ මයික් පොම්පෙඕ

උතුරු කොරියාව සමඟ පවතින මතභේදය රාජ්‍යතාන්ත්‍රික මට්ටමින් විසඳා ගැනීම ජනාධිපති ට්‍රම්ප්ගේ අවශ්‍යතාව බව එක්සත් ජනපද රාජ්‍ය ලේකම් රෙක්ස් ටිලර්සන් පසුගිය සතියේ ද අවධාරණය කර සිටියේය.

කෙසේ නමුත් එම ප්‍රකාශය නිකුත් වූයේ, උතුරු කොරියානු නායක කිම් ජොන්ග් අන් සමඟ සාකච්ඡා කිරීමට උත්සාහ කරමින් කාලය නාස්ති නොකරන ලෙසට ජනාධිපති ට්‍රම්ප් විසින් තම රාජ්‍ය ලේකම්වරයාට ප්‍රසිද්ධියේ පවසනු ලැබීමෙන් අනතුරුවය.

CIA රහස් ඔත්තු සේවයේ අධ්‍යක්‍ෂවරයා ඉහත කී සභාව අමතමින්, තාලිබාන් සංවිධානයට අනුබද්ධිත කැරලිකරුවන්ගේ ග්‍රහණයේ සිට නිදහස් වී පසුගිය දා කැනඩාවට පැමිණි යුවළ පිළිබඳවද අදහස් දැක්වීය.

මෙම යුවළ ඇෆ්ගනිස්ථානය තුළ පස් වසරක් රඳවාගෙන සිටි බවට මුලදී ප්‍රකාශයට පත් වී තිබුණ නමුත් ඔවුන් රඳවා සිට ඇත්තේ පකිස්ථානය තුළ බව ඔහු පැවසීය.

Image caption ජොෂුවා බෝයිල් සිය බිරිඳ සමඟ කැනඩාවට පැමිණි මොහොතේ

නමුත් පකිස්තානු බලධාරීන් පවසන්නේ මෙම ප්‍රාණ ඇපකරුවන් ඇෆ්ගනිස්ථානයේ රඳවා තිබිය දී මුදවා ගෙන දේශ සීමාව හරහා පකිස්තානය තුළට රැගෙන ආ බවය.

ජොෂුවා බෝයිල් සිය බිරිඳ සමඟ ඇෆ්ගනිස්ථානයේ සංචාරයක යෙදී සිටියදී තාලිබාන් කැරලිකරුවන් විසින් අල්ලා ගනු ලැබූ බව 2012 දී වාර්තා විය.

ජොෂුවා එහි යන විට තම බිරිඳ ගැබිනියකව සිටියාය. ඇයගේ පළමු දරු ප්‍රසුතිය සඳහා වැඩි කලක් නොවීය.

ඔවුන් තාලිබාන් ග්‍රහණයෙන් මිදී නැවත කැනඩාවට පැමිණියේ දරුවන් තිදෙනෙකු සමඟ ය. මෙම දරුවන් තිදෙනා ම උපත ලබා ඇත්තේ මෙම යුවළ තාලිබාන් ග්‍රහණයේ සිටි කාලය ඇතුළත ය.

ජොෂුවා ගේ ප්‍රකාශයේ සඳහන් වන පරිදි එහිදී උපත ලද ඔවුන්ගේ හතරවැනි දරුවා තාලිබාන් කැරලිකරුවන් විසින් මරා දමනු ලැබ ඇත.

තමන්ව රඳවාගෙන සිටි හකානි කැරලි සංවිධානයට අයත් තාලිබාන්වරු සිය බිරිඳ දූෂණය කළ බව ද එම ප්‍රකාශයෙන් හෙළිදරව් කළේය.