ළමා ලිංගික අපචාර සහ දරුවන්ගේ නිරුවත් ඡායාරූප: 108 දෙනෙක් අත්අඩංගුවේ

Image copyright MINISTERIO DA JUSTICA

ලතින් ඇමෙරිකාවේ ළමා ලිංගික අපචාරකරුවන් සම්බන්ධයෙන් දියත් කරනු ලැබූ විශාලතම මෙහෙයුමේ දී 108 දෙනෙකු අත්අඩංගුවට ගනු ලැබූ බව බ්‍රසීලයේ පොලිසිය පවසයි.

එම සැකකරුවන් පිරිස අත්අඩංගුවට ගනු ලැබ තිබෙන්නේ බ්‍රසීලියා අගනුවර සහ ප්‍රාන්ත 24 කදීය.

එසේ අත්අඩංගුවට ගන්නා ලද්දේ සිය පරිගණක සහ ජංගම දුරකථන මාර්ගයෙන් කුඩා දරුවන්ගේ නිරුවත් ඡායාරූප හුවමාරු කරගත් කණ්ඩායමක සාමාජිකයන් බව අධිකරණ අමාත්‍යවරයා (Torquato Jardim) පැවසීය.

බ්‍රසීල පොලිසිය එම මෙහෙයුම දියත් කළේ යුරෝපා සංගමයේ සහ ඇමෙරිකා එක්සත් ජනපදයේ සහාය සහිතව මාස හයක් මුළුල්ලේ පවත්වන ලද විමර්ශනවලින් අනතුරුවය.

දරුවන්ගේ නිරුවත් ඡායාරූප ඇතුළත් ගොනු 150,000 කට වැඩි ප්‍රමාණයක් එම විමර්ශනයේ දී හමු වී තිබේ.

Image copyright AGENCIA BRASIL

පොලිස් නිලධාරීන් එම ගොනු සොයා ගෙන තිබෙන්නේ බොහෝ මෙහෙයුම් යන්ත්‍ර මාර්ගයෙන් සොයා ගත නොහැකි රහසිගත අන්තර්ජාල අඩවිවලට (dark web) පිවිසීමෙනි.

විශ්‍රාමික පොලිස් නිලධාරීන්, සිවිල් සේවකයන් සහ තරුණ පාපන්දු සමාජවල බලධාරීන් අත්අඩංගුවට පත් වූ පිරිස අතර සිටිති.

පොලිස් විමර්ශනවලින් මග හැරීම පිණිස ළමා ලිංගික අපයෝජකයන් ඉතා සංකීර්ණ තාක්ෂණික උපක්‍රම යොදා ගන්නා බව අධිකරණ අමාත්‍යවරයා සඳහන් කළේය.

"ඔවුන් මේ නීති විරෝධී, සාපරාධී ඡායාරූප රටේ වෙනත් ප්‍රදේශයක් ඉන්න කෙනෙකුගේ පරිගණයක නැත්නම් රටින් පිටත පවා තැන්පත් කරනවා," ඔහු පැවසීය.

පොලිසිය මුලින්ම එම විමර්ශනය ආරම්භ කරනු ලැබුවේ ළමා ලිංගික අපයෝජන සම්බන්ධ නීති විරෝධී ඡායාරූප සහ වීඩියෝ පට බෙදා ගැනීම පිළිබඳව පමණකි.

එහෙත් එම කණ්ඩායම අන්තර්ජාලය ඔස්සේ බෙදා හැරීම පිණිස එවැනි දෑ නිෂ්පාදනය කරන බව ද ඔවුන්ගේ පරිගණක, ජංගම දුරකථන සහ සීඩී තැටි ඇතුළු භාණ්ඩ පරීක්ෂා කළ අවස්ථාවේ හෙළිදරවු වී තිබේ.

බිළින්දන් සහ ඉතාම බාල වියේ දරුවන්ට ලිංගික අතවර කරන අවස්ථා පිළිබඳ ඉතා සංවේදී දසුන් ද විමර්ශකයන්ට හමු වී තිබේ.

ඔවුන් බ්‍රසීලයේ පමණක් ක්‍රියාත්මක වූ පිරිසක් ද නොඑසේනම් ජාත්‍යන්තර අපරාධ කණ්ඩායමක් ද යන්න මෙතෙක් හෙළි වී නොමැත.

මේ පුවතට සම්බන්ධ තවත් විස්තර

බීබීසී යෙන්