ජිමී කාටර් උතුරු කොරියානු අර්බුදය විසඳීමට ඉදිරිපත් වෙයි

  • 2017 ඔක්තෝබර් 22
Image copyright AFP
Image caption ජනාධිපති කාටර් මින්පෙර උතුරු කොරියාවේ පෞද්ගලික සංචාරයක නිරත වී ඇත

දැනට උත්සන්න වෙමින් පවතින ගැටුම්කාරී වාතාවරණය සමනය කිරීමේ ප්‍රයත්නයක් වශයෙන් ට්‍රම්ප් පරිපාලනය වෙනුවෙන් උතුරු කොරියාවට යාමට තමා සූදානම් බව ඇමෙරිකා එක්සත් ජනපදයේ හිටපු ජනාධිපති ජිමී කාටර් පවසයි.

'නිව් යෝර්ක් ටයිම්ස්' පුවත්පතට ප්‍රකාශයක් කළ හිටපු ජනාධිපතිවරයා, ඩොනල්ඩ් ට්‍රම්ප් පරිපාලනයේ ජාතික ආරක්ෂක උපදේශකයා හැටියට දැනට කටයුතු කරන තමාගේ පෞද්ගලික මිතුරකු වන ජනරාල් මැක්මාස්ටර් (General McMaster) සමඟ මේ කාරණය පිළිබඳව සාකච්ඡා කළ බව කියා සිටියේය.

හිටපු ජනාධිපති කාටර් මේ වනවිට අනූතුන් වෙනි වියේ පසුවෙයි.

'නිව් යෝර්ක් ටයිම්ස්' පුවත්පත සමඟ වැඩිදුරටත් කරුණු දැක්වූ හිටපු ජනාධිපතිවරයා, උතුරු කොරියානු නායක කිම් ජොන් අන් (Kim Jong Un) කෙරෙහි චීනයට සිදු කළ හැකි බලපෑම වොෂිංටන් බලධාරීන් විසින් අධිතක්සේරු කරනු ලැබ ඇතැයි සඳහන් කර ඇත.

කිම් ජොන් අන් ඔහුගේ පියා හෝ මුත්තණුවන් මෙන් නොව චීනයේ සංචාරයක් ගැන කිසිදාක සිතාවත් නැති බව ජනාධිපති කාටර් පෙන්වා දෙයි.

Image caption ජනරාල් මැක්මාස්ටර් (General McMaster)

ජනාධිපති බරක් ඔබාමා පාලන සමයේ හිටපු ජනාධිපති බිල් ක්ලින්ටන් උතුරු කොරියාවේ සංචාරයක නිරත වී ඇත.

එම සංචාරය සිදු කරන ලද්දේ 'ප්යෝන්ග්යැන්' පාලනය විසින් සිරගත කරන ලද ඇමෙරිකානු මාධ්‍යවේදීන් දෙදෙනකුගේ ඉරණම පිළිබඳව සාකච්ඡා කිරීමටයි.

එම සංචාරයේ දී බිල් ක්ලින්ටන් ජනාධිපති ඔබාමාගේ වාචික පණිවුඩයක් උතුරු කොරියානු බලධාරීන්ට ඉදිරිපත් කරන ලද බවක් එරට මධ්‍යම ප්‍රවෘත්ති ආයතනය (KCNA) වාර්තා කළත්, ජනාධිපති ඔබාමා එවැනි පණිවුඩයක් නොයවන ලද බව ධවල මන්දිරය වහාම නිවේදනය කළේය.

ජනාධිපති බිල් ක්ලින්ටන්ගේ සංචාරය උතුරු කොරියාවේ න්‍යෂ්ටික අභිලාෂයන් මුල්කර ගනිමින් මතු වී තිබුණ දුෂ්කර තත්වය නිරාකරණය කිරීමේ ප්‍රයත්නයක් විය හැකි යයි මේ අතර විශ්ලේෂකයෝ කියා සිටියහ.

කෙසේ වුවද, ඇමෙරිකා එක්සත් ජනපදය සහ දකුණු කොරියාව විසින් මෙයින් කලකට පෙර උතුරු කොරියාවට එරෙහිව ආහාර ආධාර තහංචි පණවනු ලැබීම ජනාධිපති ජිමී කාටර්ගේ දෝෂ දර්ශනයට ලක්විය.

Image copyright Reuters
Image caption කිම් ජොන් අන්

ඔහු එම විවේචනය සිදු කළේ දින තුනක පෞද්ගලික උතුරු කොරියානු සංචාරයකින් පසුවයි.

එම සංචාරය "අතිශයින්ම පෞද්ගලික" එකක් වූ බව ඇමෙරිකානු පරිපාලනය අවධාරණයෙන් සඳහන් කර තිබුණි.

සබැඳි පුවත්;

මේ පුවතට සම්බන්ධ තවත් විස්තර