කොරියානු අර්බුදය විසඳීමේ ජපන් සැලැස්මක්

  • 2017 ඔක්තෝබර් 23
Image copyright Reuters
Image caption අගමැති අබේ හදිසි මහ මැතිවරණය කැඳවන ලද්දේ ඔහුට තවත් වසරක කාලයක් තිබියදීය

ඊයේ ඉරිදා (ඔක්තෝබර් 22) පැවැත්වුන ජපන් මහ මැතිවරණයෙන් ජයගත් අගමැති ශින්ෂෝ අබේ (Shinzo Abe) ප්‍රකාශයක් කරමින් උතුරු කොරියාවත් සමඟ ගිවිසුමක් ඇතිකර ගැනීම සඳහා ඇමෙරිකා එක්සත් ජනපදය ,චීනය සහ රුසියාව සමඟ කටයුතු කරන බව කියා සිටියේය.

නියමිත කාලයට පෙර කැඳවූ හදිසි මහ මැතිවරණයෙන් අගමැති අබේ නායකත්වය දෙන ලිබරල් ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂය විශාල ජයග්‍රහණයක් ලබා ඇත.

උතුරු කොරියාවෙන් එල්ල වෙමින් පවතින තර්ජනය හමුවේ ගනුදෙනු කිරීම සඳහා තමා ශක්තිමත් රාජ්‍යතාන්ත්‍රික ක්‍රියාමාර්ගයක් ගන්නා බවත් ජපන් අගමැතිවරයා පවසයි.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව වෙනස් කිරීමට සහ යුද හමුදාවන්හි භූමිකාව යළි නිර්වචනය කිරීමට නෛතික මග සලසමින් පාර්ලිමේන්තුවේ පහළ මන්ත්‍රී මණ්ඩලයේ තුනෙන් දෙකකට අධික ආසන සංඛ්‍යාවක් මෙම මැතිවරණයේ දී පාලක ලිබරල් ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයට ලැබී ඇත.

අගමැති අබේ ලද ජයග්‍රහණයත් සමඟ ජපානයේ 'නික්කි'(Nikkei) කොටස් මිල දර්ශකයේ අගය ඉහළ ගොස් ඇත.

වසර හැත්තෑවක පමණ කාල පරාසයක් ඇතුළත දිගු කලක් පවතින ශක්තිමත් පාලනයක් දැන් ජපානයේ ක්‍රියාත්මක වෙයි.

2012 දී බලයට පත් අගමැති අබේ ජපානයේ දීර්ඝ කාලයක් බලයේ සිටි අගමැතිවරයා බවට ද පත් වෙයි.

පාර්ලිමේන්තුවේ පහළ මන්ත්‍රී මණ්ඩලයේ (Diet) ආසන 465 න් 313 ක් දිනා ගැනීමට පාලක සන්ධානය සමත්ව ඇත.

සබැඳි පුවත්;