කැටලෝනියා අර්බුදය: "යටතට ගත්තොත් නියෝග පිළි පදින්නේ නැහැ"

Image copyright Getty Images

තම පළාත 'මැඩ්රිඩ්' පාලනය යටතට පවරා ගනු ලැබුනොත් ස්පාඤ්ඤ ආණ්ඩුවේ නියෝග පිළි නොපදින බව කැටලෝනියානු නිලධාරීහු පවසති.

කැටලෝනියානු විදේශ සබඳතා ප්‍රකාශක රාවුල් රොමේවා බීබීසි සමග පැවසුවේ ස්පාඤ්ඤ මධ්‍යම ආණ්ඩුව කැටලෝනියානු මහජන අභිලාෂය නොතකා කටයුතු කරන බවය.

කැටලෝනියාවේ ප්‍රාදේශීය ආණ්ඩුව බලයෙන් පහ කරමින් එම ප්‍රාදේශීය පාර්ලිමේන්තුව සතු බලතල අත්හිටුවන බවට ස්පාඤ්ඤ අගමැති මරියානෝ රයෝයි අනතුරු ඇඟවීමක් කර ඇත.

ස්පාඤ්ඤ ආණ්ඩුවේ ස්ථාවරය සම්බන්ධයෙන් සිය ප්‍රතිචාරය දැක්වීම සඳහා කැටලෝනියානු පාර්ලිමේන්තුව ලබන බ්‍රහස්පතින්දා (ඔක්තෝබර් 26) රැස්වීමට නියමිතය.

නිදහස් රාජ්‍යයක් වීම සඳහා පසුගියදා ගත් ඒක පාර්ශ්වීය තීන්දුව කැටලෝනියානු නිදහස් ව්‍යාපාරයේ නායකයන් විසින් විධිමත්ව ඉදිරිපත් කරනු ඇතැයි 'බාසිලෝනා' නගරයේ සිටින බීබීසී වාර්තාකාරිනී බෙතනි බෙල් පවසන්නීය.

මේ අතර කැටලෝනියාව සඳහා යළි මැතිවරණයක් කැඳවීම ඇතුළුව ස්පාඤ්ඤ ආණ්ඩුව විසින් පසුගිය සිකුරාදා ප්‍රකාශයට පත් කරන ලද ක්‍රියාමාර්ග සඳහා සෙනෙට් සභාවේ අනුමැතිය ලැබෙනු ඇතැයි බලාපොරොත්තු පළ වෙමින් පවතී.

ස්පාඤ්ඤ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 155 වෙනි වගන්තිය අනුව රටේ ඕනෑම ස්වයංපාලන ප්‍රදේශයක අර්බුදයක් මතු වූ විට එය මධ්‍යම ආණ්ඩුවේ ඍජු පාලනය යටතට පවරා ගැනීමට බලය ලැබේ.

එහෙත් මින් පෙර නොගත් එම අසාමාන්‍ය පියවර ගත් අගමැති මරියානෝ රයෝයි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 155 වෙනි වගන්තිය අනුව කැටලෝනියාව මධ්‍යම ආණ්ඩුවේ ඍජු පාලනය යටතට ගන්නා බව පසුගිය ඉරිදා නිවේදනය කළේය.

නමුත් එම සැලැස්ම භාර නොගන්නා බව කැටලෝනියානු ප්‍රාදේශීය නායකයෝ කියා සිටිති.

"එවැනි තත්ත්වයක් යටතේ යුරෝපා හවුල පවතින්නේ කොහොමද? ස්පාඤ්ඤ ආණ්ඩුව එහෙම කළොත් කොහොමද යුරෝපා හවුලේ ප්‍රජාතන්ත්‍රවාදය ආරක්ෂා වෙන්නේ? එහෙම දෙයක් කරන්න ඉඩ දුන්නොත් කොහොමද යුරෝපා හවුල කෙරේ විශ්වාසයක් තියන්නේ? " කැටලෝනියානු විදේශ සබඳතා ප්‍රකාශක රාවුල් රොමේවා බීබීසි වෙත අදහස් දක්වමින් ප්‍රශ්න කළේය.

"කැටලෝනියා ජනතාව සහ ආයතන එවැනි දෙයක් වෙන්න ඉඩ තියන්නේ නැහැ" රාවුල් රොමේවා අවධාරණයෙන් කියා සිටියේය.

කැටලෝනියා ප්‍රජාව නිදහස් රාජ්‍යයක් වෙනුවෙන් ඡන්දය දී ඇති බව ස්පාඤ්ඤ ආණ්ඩුව පිළිගත යතුව ඇති බව ඔහු කියා සිටී.

කැටලෝනියාව

  • ස්පාඤ්ඤයේ සමස්ත ජනගහනයෙන් කැටලෝනියානු ප්‍රතිශතය 16%

  • ස්පාඤ්ඤ අපනයනවලින් කැටලෝනියාව නිෂ්පාදනය කරන ප්‍රතිශතය 25.6%

  • ස්පාඤ්ඤ දළ දේශීය නිෂ්පාදනයට කැටලෝනියාවේ දායකත්වය 19%

  • ස්පාඤ්ඤ විදේශ ආයෝජන සඳහා කැටලෝනියාව වැය කරන ප්‍රතිශතය 20.7%

Getty

ඔක්තෝබර් පළමුවෙනිදා පැවැත්වූ ජනමත විචාරණයට සහභාගී වූ ඡන්දදායකයන්ගෙන් 90% ක් 'නිදහස් රටක්' වෙනුවෙන් මනාපය පළ කර ඇති බව කැටලෝනියානු ආණ්ඩුව පවසයි.

2015 වසරේ පැවැත්වූ මහ මැතිවරණයේ දී 40% ක් ඡන්ද ලබාගත් සාංගමිකවාදී දේශපාලන පක්ෂ සහ නිදහස් කැටලෝනියවකට විරුද්ධ කණ්ඩායම් ඔක්තෝබර් ජනමත විචාරණය වර්ජනය කළහ.

ඉදිරිය කුමක් විය හැකිද ?

කැටලෝනියානු ජනාධිපති කාලෙස් පුයිජ්මොන් සතු සියලු බලතල ඉවත් කිරීමට අතිරේකව කැටලෝනියා ප්‍රාදේශීය පොලිස් බලකායේ පාලනය සහ TV 3 රාජ්‍ය රූපවාහිනිය තමන් අතට ගැනීම ස්පාඤ්ඤ මධ්‍යම ආණ්ඩුවේ සැලැස්ම බව වාර්තා වේ.

ස්පාඤ්ඤ අගමැතිවරයා පවසන ආකාරයට කැටලන් ස්වයංපාලනය අත්හිටුවීම ආණ්ඩුවේ අභිලාෂය නොවේ.

අගමැතිවරයාට අනුව ආණ්ඩුවට අවශ්‍යව ඇත්තේනීතියට පිටුපා යමින් කටයුතු කළ 'පුද්ගලයන්' ඉවත් කිරීමය.

"කැටලෝනියානු නායකයන්ට වෙන්වීමේ බලයක් සහිත භූමිකාවක් පවරා දී නැහැ. ඔවුන්ට බලය දී තිබෙන්නේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මගිනුයි. ව්‍යවස්ථාව අනුව ඔවුන්ට පැවරෙන්නේ ස්වයංපාලන බලයක්" ස්පාඤ්ඤයේ නියෝජ්‍ය අගමැතිනි සොරායා ඩි සන්තමරියා එරට ගුවන් විදුලිය ඔස්සේ කියා සිටියාය.

" කැටලෝනියානු නායකයන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සහ ස්වයංපාලන තත්වය ප්‍රකාරව කටයුතු කරලා නැහැ. ඔවුන් සමහර විට වෙනත් යථාර්ථයක් තුළ ජීවත් වෙනවා වෙන්න පුළුවන්. නමුත් දේශපාලන සහ නෛතික යථාර්ථය වෙන්නේ ඔවුන් ඉවත්කර දැමීම" නියෝජ්‍ය අගමැතිනිය වැඩි දුරටත් සඳහන් කළාය.

"ස්පාඤ්ඤ සෙනෙට් සභාව විසින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 155 වගන්තිය අනුමත කරනු ලැබීමත් සමඟ කැටලෝනියානු ජනාධිපති කාලෙස් පුයිජ්මොන් වෙත වැටුප් ගෙවීම නතර කෙරෙන අතර ඒ සමඟ ඔහුගේ නිල කටයුතු අකර්මණ්‍යවන බවත්, කිසිදු නීත්‍යනුකූල තීන්දුවක් ගැනීමට ඔහුට නොහැකිවන බවත් නියෝජ්‍ය අගමැතිනිය පවසන්නීය.

මැඩ්රිඩ් බලධාරීන් විසින් තම ප්‍රදේශය මධ්‍යම ආණ්ඩුවේ ඍජු පාලනය යටතට පවරා ගැනීම බලාත්මකවීමට පෙර හදිසි මැතිවරණයක් පවත්වන මෙන් කැටලෝනියානු ජනාධිපති කාලෙස් පුයිජ්මොන් ගේ ආධාරකරුවෝ මේ අතර ඉල්ලා සිටිති.

මෙම ප්‍රශ්නයේ දී බාහිර මැදිහත්වීමක් සඳහා කැටලෝනියානු බෙදුම්වාදීන් විසින් ඉදිරිපත් කරනු ලබන ඉල්ලීම් සම්බන්ධයෙන් සැලකිය යුතු ප්‍රතිචාරයක් පළ වී නැත.

එය ස්පාඤ්ඤය විසින් නිරාකරණය කරගනු ලැබිය යුතු අභ්‍යන්තර කරුණක් බව යුරෝපා හවුලේ ස්ථාවරය වී තිබේ.

සබැඳි යොමු:

සබැඳි විෂයයන්

මේ පුවතට සම්බන්ධ තවත් විස්තර