සුනාමියකින් මියගිය ලොව 'පැරණිම මිනිසා'

Image copyright Image copyrightARTHUR DURBAND
Image caption මෙම හිස්කබල වසර 6000ක් පමණ පැරණි බවට නිගමනය කර තිබේ

කලකට පෙර පැපුවා නිව්ගිනියාවෙන් සොයාගත් හිස්කබලක්, මෙතෙක් සුනාමියකින් මියගිය බවට තක්සේරු කළ හැකි පැරණිතම මිනිසාගේ විය හැකි බව විද්‍යාඥයෝ පවසති.

මෙම හිස්කබල සොයාගනු ලැබුවේ 1922 වසරේදී ය. එය 'හෝමෝ ඉරෙක්ටස්' ආදී මානවයාට අයත් හිස් කබලක් ලෙස මුලින් හඳුන්වා තිබුණි.

කෙසේ නමුත් දැන් විද්‍යාඥයන් පවසන්නේ මෙම හිස්කබල සොයාගත් ප්‍රදේශය මීට වසර 6000කට පෙර සුනාමියකට හසුවී ඇති බව ය.

ඒ අනුව මෙම හිස්කබල එම සුනාමියෙන් මිය ගිය පුද්ගලයෙකුට අයිති එකක් විය හැකි බවට ඔවුහු විශ්වාස කරති.

මෑතකදී ජාත්‍යන්තර විද්‍යාඥයන්ගෙන් සමන්විත කණ්ඩායමක් විසින් එම ප්‍රදේශය පුරා කරන ලද ගවේෂණයකින් අනතුරුව මෙම නිගමනයට පැමිණ තිබේ.

Image copyright Image copyrightETHAN COCHRANE
Image caption පැපුවා නිව්ගිනියාවේ 'අයිටපේ' නගරයට නුදුරින්, හිස්කබල හමුවූ ප්‍රදේශය

පැපුවා නිව්ගිනියාවේ 'අයිටපේ' නගරයට නුදුරින්, හිස්කබල හමුවූ ප්‍රදේශයේ පවතින අවසාදිත පාෂාණ සහ 1998 දී සුනාමියකට හසුවූ එම කලාපයට අයත් වෙනත් ප්‍රදේශයක පාෂාණ මෙම විද්‍යාඥයෝ සංසන්දනය කළහ.

එහිදී තහවුරු කරගනු ලැබූ "භූගෝලීය සමානකම්" මත එම ප්‍රදේශයේ ජීවත් වූ මිනිසා වසර දහස් ගණනක් තිස්සේ සුනාමි උවදුරුවලට මුහුණ දී ඇති බව තීරණය කළ හැකියැයි එම පර්යේෂණ කණ්ඩායමේ මහාචාර්ය ජේම්ස් ගොෆ් පවසයි.

"මේ හිස්කබල අයිති, ඉතා ඈත අතීතයේ ජීවත් වූ මිනිසා දැනට අප දන්නා පරිදි සුනාමියකින් මිය ගිය පැරණිතම මිනිසා කියල අපි නිගමනය කළා." ඔහු ප්‍රකාශ කළේය.

අවසාදිත පාෂාණ පරීක්ෂා කිරීමේ දී එහි සංයුතිය සහ පාෂාණ වෛරමක ඇති ඝනකම පිළිබඳව අධ්‍යයනය කෙරෙන අතර එම පාෂාණ අතර සොයා ගත හැකි ක්ෂුද්‍ර ජීවී අවශේෂ පිළිබඳවද සොයා බලනු ලැබේ.

ඉහත කී හිස් කබල හමුවූ පැපුවා නිව්ගිනියාවේ 'අයිටපේ' ප්‍රදේශයේ පාෂාණ අතර තිබී සොයා ගත් මුහුදු ක්ෂුද්‍ර ජීවී අවශේෂවලට සමාන නියැදි, 1998 දී සුනාමියට හසුවූ එම කලාපයේ වෙනත් ස්ථානයක පාෂාණ අතර ද තිබී ඇත.

1998 සුනාමියට ගොදුරු වී 2000කට අධික පිරිසක් මිය ගියහ.

සියලු නියැදි කුමන කාලයකට අයිති දැයි නිශ්චිතව තහවුරු කර ගැනීම සඳහා 'රේඩියෝ කාබන්' පරීක්ෂාව සිදු කර තිබේ.

මේ පුවතට සම්බන්ධ තවත් විස්තර

බීබීසී යෙන්