අවුන් සාන් සුචී රඛයින් ප්‍රාන්තයේ සංචාරයක

Image copyright AFP/Getty Images
Image caption ආරක්ෂක අංශ සාමාජිකයන් සමග රඛයින් වෙත ළඟා වූ අවුන් සාන් සුචී

රෝහින්ග්‍යා මුස්ලිම්වරුන් ලක්ෂ හයකට ආසන්න සංඛ්‍යාවක් සිය ගම්බිම් හැර පළා යාමෙන් පසු මියන්මාරයේ නිල නොවන නායිකා අවුන් සාන් සුචී පළමු වරට රඛයින් ප්‍රාන්තයේ සංචාරයක නිරත වේ.

බංග්ලාදේශ දේශ සීමාව ආසන්නයේ පිහිටි රඛයින් ප්‍රාන්තය වෙත ඇය ළඟා වූයේ මියන්මාර හමුදාවට අයත් හෙලිකොප්ටර් යානයකිනි.

මියන්මාර හමුදා විසින් රඛයින් ප්‍රාන්තය තුළ දැවැන්ත හමුදා මෙහෙයුමක් දියත් කරනු ලැබීමත් සමග එම කලාපයේ අර්බුදකාරී වාතාවරණයක් හටගැනිණි.

කෙසේ නමුත් අවුන් සාන් සුචීගේ සංචාරය පිළිබඳ වෙනත් කිසිඳු තොරතුරක් ප්‍රකාශයට පත් කර නොමැත.

රඛයින් ප්‍රාන්තය තුළ දියත් කර ඇති හමුදා මෙහෙයුම "වාර්ගික ශුද්ධයකට කදිම උදාහරණයක්" බව එක්සත් ජාතීන්ගේ සංවිධානය පවසන අතර ඒ සම්බන්ධයෙන් ප්‍රමාණවත් පියවර නොගත් බවට නොබෙල් සාම ත්‍යාගලාභී අවුන් සාන් සුචී ජාත්‍යන්තරය තුළ දෝෂදර්ශනයට ලක් විය.

Image caption ගිනිබත් කෙරුණු රෝහින්ග්‍යා ගම්මාන

රෝහින්ග්‍යා කැරලිකරුවන් පමණක් සිය මෙහෙයුමේ ඉලක්කය වී ඇති බව පවසන මියන්මාර හමුදාව සාමාන්‍ය වැසියන් ඉලක්ක කර ප්‍රහාර එල්ල කරන බවට නැගෙන චෝදනා බැහැර කරයි.

රෝහින්ග්‍යා අර්බුදය අවසානයක් කරා ගෙන ඒම සඳහා පසුගිය මාසයේ දී අවුන් සාන් සුචී විසින් සැලසුමක් සකස් කරන ලද නමුත් ආධාර සංවිධාන රඛයින් ප්‍රාන්තය වෙත ඇතුළු වීමෙන් වළකා ඇත.

රෝහින්ග්‍යාවරුන් බංග්ලාදේශය කරා ගලා යාම ආරම්භ වූයේ පසුගිය අගෝස්තු 25 වෙනිදා රෝහින්ග්‍යා කැරලිකරුවන් විසින් මියන්මාර පොලිස් මුරපොල වෙත ප්‍රහාර එල්ල කරනු ලැබීමත් සමගය.

ඒ සමග මියන්මාර හමුදා විසින් රෝහින්ග්‍යා ජනයා වෙසෙන රඛයින් ප්‍රාන්තය තුළ දැවැන්ත මෙහෙයුමක් ආරම්භ කරනු ලැබීය.

සබැඳි යොමු:

මේ පුවතට සම්බන්ධ තවත් විස්තර