මෝසුල් සටන: සාමාන්‍ය වැසියන් 741 "මරා දමලා"

Image copyright EPA
Image caption මෝසුල් පැරණි නගරය

ඉරාකයේ මෝසුල් නගරය මුදා ගැනීමේ සටන අතරතුර ඉස්ලාමීය රාජ්‍යය කැරලිකරුවන් විසින් අවම වශයෙන් සාමාන්‍ය වැසියන් 741 දෙනෙකු ඝාතනය කර ඇති බව එක්සත් ජාතීන්ගේ සංවිධානය පවසයි.

"මරණ දණ්ඩනය ආකාරයේ ඝාතන" මගින් ඉහත කී සාමාන්‍ය වැසියන් මරා දමනු ලැබ ඇති බවත් එක්සත් ජාතීන්ගේ සංවිධානය වැඩිදුරටත් සඳහන් කරයි.

එමෙන්ම ජිහාඩ් කැරලිකරුවන් විසින් සමූහ පැහැරගැනීම්, සාමාන්‍ය වැසියන් මිනිස් පලිහක් ලෙස යොදා ගැනීම, නිවාස වෙත සිතාමතාම බෝම්බ ප්‍රහාර එල්ල කිරීම සහ පැන යාමට උත්සාහ කරන පුද්ගලයන්ට වෙඩි තැබීම වැනි අපරාධ සිදු කරනු ලැබ ඇති බවත් පැවසේ.

"මේ සඳහා වගකිවයුතු පුද්ගලයන් ඔවුන් විසින් සිදු කරන ලද දරුණු අපරාධ සම්බන්ධයෙන් පිළිතුරු දිය යුතුයි" යනුවෙන් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් ප්‍රධානී සයිඩ් රාඩ් අල් හුසේන් පැවසීය.

මෙහෙයුම් අතරතුර ඉරාක හමුදා විසින් සිදු කරන ලද බව පැවසෙන අපරාධ සම්බන්ධයෙන් ද පරීක්ෂණයක් පවත්වන ලෙස ඔහු ඉල්ලා සිටියේය.

2016 වසරේ නොවැම්බර් සිට 2017 වසරේ ජුලි මාසය දක්වා කාලයේ මොසුල් සටනේ වඩාත් උච්චතම අවධිය තුළ ඉරාක හමුදා සහ ඇමරිකාව ප්‍රමුඛ සන්ධානයේ ගුවන් ප්‍රහාරවලට හසුව තවත් සාමාන්‍ය වැසියන් 461 දෙනෙකු මරණයට පත්ව ඇතැයි එක්සත් ජාතීන්ගේ සංවිධනය පවසයි.

"2,521 ක් මරණයට"

එක්සත් ජාතීන් විසින් බ්‍රහස්පතින්දා (නොවැ 02) නිකුත් කරන ලද වාර්තාවකට අනුව හමුදා මෙහෙයුම අතරතුර අවම වශයෙන් සාමාන්‍ය වැසියන් 2,521 දෙනෙකු මරණයට පත්ව ඇති අතර තවත් 1,673 දෙනෙකු තුවාල ලබා තිබේ.

ඉහත කී පිරිසෙන් වැඩි දෙනෙකු මරණයට පත්ව හෝ තුවාල ලබා ඇත්තේ අයිඑස් ප්‍රහාරවලට ලක්ව බවත් එම වාර්තාවේ දැක්වේ.

ඉස්ලාමීය රාජ්‍ය සංවිධානය විසින් මෝසුල් නුවර අත්පත් කර ගනු ලැබුවේ 2014 වසරේ ජුනි මාසයේදී ය.

ඔබේ දුරකථනයේ හෝ පරිගණකයේ මෙය වාදනය කිරීමට අදාළ මෘදුකාංග නැත
අයිඑස් නික්මෙද්දී මෝසුල් වෙළෙඳපොළට ආ ඇඳුම් ආයිත්තම්

අයිඑස් කැරලිකරුවන්ගේ ප්‍රධාන බලකොටුවක් ලෙස පැවතුණු මෝසුල් නගරය අත්පත් කර ගැනීම සඳහා ඉරාක හමුදාවට කුර්දි සටන්කරුවන්, සුන්නි මුස්ලිම් ජන කොට්ඨාස සහ ෂියා සටන්කරුවන්ගේ සහාය ද හිමි විය.

ඊට අමතරව ඇමරිකාව ප්‍රමුඛ සන්ධානයේ ප්‍රහාරක ගුවන් යානා සහ යුද උපදේශකවරුන්ගේ සහාය ද ඉරාක හමුදාවට ලැබිණි.

මාස නවයක් පුරා පැවති සටන්වල දී උන්හිටිතැන් අහිමි වූ සාමාන්‍ය වැසියන් සංඛ්‍යාව 824,000 අධිකය.

සබැඳි යොමු:

මේ පුවතට සම්බන්ධ තවත් විස්තර