ඔස්ට්‍රේලියා සරණාගත කඳවුර : රැඳවියෝ ජලය සොයා 'ළිං කණිති'

රැඳවියෝ ළිං කණිති Image copyright BEHROUZ BOOCHANI
Image caption පොළොව හාරා පිරිසිදු ජලය සොයමින්

පැපුවා නිව්ගිනි ඔස්ට්‍රේලියානු රැඳවුම් කඳවුර නිල වශයෙන් වසා දමා දින දෙකක් ඉක්ම යද්දීත් ඉන් පිටවීම ප්‍රතික්ෂේප කරන දේශපාලන රැකවරණ පතන්නන් ජලය සොයා ගැනීම සඳහා කඳවුරු භූමියේ ළිං කණිමින් සිටී.

මැනුස් දූපතේ පිහිටි රැඳවුම් මධ්‍යස්ථානයේ සිටින 600 පමණ වූ පිරිස ඉන් පිටව යාම ප්‍රතික්ෂේප කරන්නේ බැහැර ගිය විට තමන් ප්‍රහාරවලට ලක්වෙනු ඇතැයි බියෙනි.

මේ අතර ඔස්ට්‍රේලියානු රැදවුම් මධ්‍යස්ථානයේ සිටින සරණාගතයින්ගෙන් 150 දෙනෙකු තමන් භාර ගැනීමට කැමති බව නවසීලන්තය යළි යළිත් කරන ඉල්ලීම ඔස්ට්‍රේලියානු ආණ්ඩුව නැවතත් ප්‍රතික්ෂේප කරයි.

බෝට්ටු මගින් පැමිණෙන දේශපාලන රැකවරණ පතන්නන් ඔස්ට්‍රේලියාව විසින් රඳවනු ලැබුවේ පැපුවා නිවිගිනි දේශයට අයත් මැනුස් දූපතේ සහ තවත් පැසිෆික් සාගර කලාපීය දුපතක් වන නාවුරු හි ය.

මැනුස් රැඳවුම් මධ්‍යස්ථානය ව්‍යවස්ථාවට අනුකුල නොවන බව පැපුවා නිව්ගිනි ශ්‍රේෂ්ඨාධිකරණය තීරණය කිරීමත් සමග අඟහරුවාදා (ඔක් 31) ඔස්ට්‍රේලියාව ඉන් ඉවත්විය.

ඒ අනුව, පැපුවා නිව්ගිනි හි දැනට සිටින පුද්ගලයින්ට (ඉන් බොහෝ දෙනාට සරණාගත තත්ත්වය හිමිය) දැන් ජලය, විදුලිය මෙන්ම සුදුසු වැසිකිලි පහසුකම් නොමැත. ආහාර ද ක්‍රමයෙන් අවසන් වෙමින් පවතී.

ඔවුන් වෙනුවෙන් විකල්ප නවාතැන් පහසුකම් තවමත් සුදානම් නැති බව එක්සත් ජාතීන්ගේ සරණාගතයින් පිළිබඳ ආයතනය පවසයි.

දේශපාලන රැකවරණ පතන්නන් මීට පෙර පැපුවා නිව්ගිනි හිදී ප්‍රහාරවලට ලක්වී ඇති බැවින් තමන්ගේ ආරක්ෂාව සම්බන්ධයෙන් ඔවුනට සාධාරණ බියක් ඇති බව එම ආයතනය මෙන්ම හිමිකම් සම්බන්ධයෙන් පෙනී සිටින කණ්ඩායම් පෙන්වා දෙති.

මේ තොරතුරු ද දැනගන්න :

මේ අතර බීබීසී සමග සන්නිවේදනයේ යෙදෙන සරණාගතයින් පවසන්නේ ජලය රැස්කරගැනීම සඳහා තමන් පොළොව හෑරූ අතර එසේ ලබාගන්න ජලය කසල බඳුන්වල රැස්කිරීමට සිදුව ඇති බවය.

බදාදා දිනයේදී පැපුවා නිව්ගිනි ආගමන විගමන නිලධාරීන් පැමිණ මධ්‍යස්ථානයෙන් පිටත රැදී සිටි අතර තමන් බලහත්කාරයෙන් එම ස්ථානයෙන් ඉවත් කරනු ඇත්දැයි යන්න ගැන බියක් ඇති බව ඔවුහු පවසති.

සිය අර්බුදකාරී ප්‍රතිපත්තියට අනුව, බෝට්ටු මගින් සිය බලප්‍රදේශයට ළඟාවන ඕනෑම අයෙකු භාරගැනීම ඔස්ට්‍රේලියාව ප්‍රතික්ෂේප කරයි. එම ආණ්ඩුව පෙන්වා දෙන්නේ මිනිස් ජාවාරම මෙන්ම මුහුදේදී මරණයට පත්වීම වළකාලීම සිය ප්‍රතිපත්තිය බවය.

නවසීලන්තයේ ඉදිරිපත්වීම

වර්ධනය වෙමින් පතින අර්බුදකාරී තත්ත්වය හමුවේ සිය ඉදිරිපත්වීම යළි මතක් කර දෙන නවසීලන්තය පවසන්නේ, මැනුස් දිවයිනෙන් හෝ නාවුරු දිවයිනෙන් සරණාගතයින් 150 දෙනෙකු භාරගැනීම පිළිබඳ සිය යෝජනාව "තවමත් විවෘතයි" යනුවෙනි.

එහෙත්, 2013 වසරේ සිට පවතින එම යෝජනාව ඔස්ට්‍රේලියාව යළි යළිත් ප්‍රතික්ෂේප කරයි.

Image copyright BEHROUZ BOOCHANI
Image caption කඳවුරේ විදුලිය මෙන්ම ජල සැපයුම කපා හැර තිබේ

"මං හිතන්නේ ඔස්ට්‍රේලියාව වගේ අරගලයක යෙදෙන්නට නොවන වාසනාවන්ත තත්ත්වයක නවසීලන්තය සිටීම ගැන අවධානය යොමු කර එහි මානුෂීය මුහුණුවර දකින්නට ඕනෑම කෙනෙක් කැමති ඇති." යැයි නවසීලන්ත අගමැතිනි ජසින්දා ආර්ඩේන් පැවසුවාය.

ඉරිදා දිනයට නියමිත හමුවේදී, මැනුස් දිවයිනේ තත්ත්වය ගැන ඔස්ට්‍රේලියානු අගමැති මැල්කම් ටර්න්බුල් සමග සාකච්ඡා කරන බව අගමැතිනිය සඳහන් කළාය.

පසුගිය වසරේදී මේ පිළිබදව කතා කළ ටර්න්බුල් කියා සිටියේ නවසීලන්තය සමග එවැනි ගනුදෙනුවකට යාම මිනිස් ජාවාරම්කරුවන් විසින් "අලෙවිකරණ අවස්ථාවක්" ලෙස සලකනු ඇති බවය.

ප්‍රදේශවාසීන් අතර විසීමෙන් සරණාගතයින්ට ආරක්ෂාව තහවුරු නොවෙතත්, අගමැති ටර්න්බුල් පවසන්නේ විකල්ප නවාතැන් සපයා තිබියදී රැඳවුම් මධ්‍යස්ථානයේම සිටීම "තේරුමක් නැති" බවය.

කෙසේවෙතත්, එම නවාතැන්පොළවලින් ඇතැම් ඒවා තවමත් රැදී සිටීමට සුදුසු තත්ත්වයේ නැති බව එක්සත් ජාන්තීන්ගේ සරණාගතයින් පිළිබඳ කොමිසමේ කලාපීය නියෝජිත නට් ජිට් ලෑම් බදාදා (නොවැ. 01) ප්‍රකාශ කළේය.

ඔහු වැඩිදුරටත් කියා සිටියේ "මේ තත්ත්වය යටතේ කිසිම සරණාගතයෙකුව මා එහි ගෙන යන්නේ නැහැ" යනුවෙනි.

රැඳවියන් අවදානමක ද ?

මීට පෙරද ප්‍රදේශවාසීන්ගේ ප්‍රහාරවලට ලක්වූ එම රැඳවුම් මධ්‍යස්ථානයේ පුද්ගලයින් "නිරීක්ෂණය නොවන ප්‍රචණ්ඩත්වයකට" මුහුණ දෙනු ඇති බව හියුමන් රයිට්ස් වොච් සංවිධානය පවසයි.

එහි ඔස්ට්‍රේලියානු අධ්‍යක්ෂ ඉලෙයින් පියර්සන් බදාදා පැවසුවේ "පිටව යාමට ඔවුන් බියක් දක්වනවා. ප්‍රධාන නගරයේ ඇති ආරක්ෂාව අඩු ස්ථානයක් වෙත ඔවුන් යාම තවත් ලේ ගැලීමකට හේතුවන්නට පුළුවන්" යනුවෙනි.

"දැනටමත් පිටතදී අවස්ථා කිහිපයක අපි පහරදීම්වලට ලක්වී තිබෙනවා" යැයි 2014 වසරේ සිට මැනුස් දිවයිනේ රඳවා සිටින ජනමාධ්‍යවේදියෙකු මෙන්ම ඉරාන සරණාගතයෙකු ද වන බෙහ්රුස් බූචානි බීබීසී සමග පැවසීය.

මධ්‍යස්ථානයේ සිටින පුද්ගලයින්ගෙන් වැඩි දෙනා ශාරීරිකව හා මානසිකව ගිලන්ව ඇති බව ඔහු සිය ට්විටර් ගිනුමේ සටහන් තබා ඇත.

මේ වනවිට මැනුස් දිවයිනට ගොස් සිටින ඔස්ට්‍රේලියානු සෙනෙට් සභිකයෙකුවන නික් මක්කිම්, "මානව හිමිකම් පිළිබඳ හදිසි තත්ත්වයක්" පවතින අතර නවාතැන්පොළ රැදී සිටීමට සුදුසු මට්ටමක තවමත් නැති බව පවසයි.

රැඳවියන්ගේ ආරක්ෂාව පැපුවා නිව්ගිනි ආණ්ඩුවේ වගකීමක් බව ඔස්ට්‍රේලියාව යළි යළිත් පවසන අතර පැපුවා නිව්ගිනි කියා සිටින්නේතමන්ට සහය දීම ඔස්ට්‍රේලියාවේ වගකීම බවය.

එක්සත් ජාතීන්ගේ සරණාගතයින් පිළිබඳ කොමිසම ද එම එම මතයේම සිටී

කොහි යන්නද ?

පැපුවා නිව්ගිනි හි ස්ථිරව පදිංචියට, කාම්බෝජයේ විසීම සඳහා අයදුම් කිරීමට හෝ නාවුරු වෙත මාරු කර යවන ලෙස ඉල්ලීමේ විකල්ප සරණාගතයින් හමුවේ තබා ඇති අතර නීතිඥයින් පවසන්නේ ඇතැමෙකු එම විකල්ප කරා ගොස් ඇති බවය.

තාවකාලික නවාතැන්පොළවල හිඳින ඇතැම් පුද්ගලයින් එහි ඇති "සේවා මෙන්ම සහයෝගය පහසුවෙන් ලබාගෙන" ඇති බව ඔස්ට්‍රේලියාවේ ආගමන හා දේශසීමා ආරක්ෂණ දෙපාර්තමේන්තුව කියා සිටී.

පදිංචිය සම්බන්ධයෙන් 2016 ඇමෙරිකාවේ පැවති ඔබාමා පාලනය සමග පැමිණි එකඟතාවට අනුව පැපුවා නිව්ගිනි හෝ නාවුරු මධ්‍යස්ථානවලින් සරණාගතයින් 1,250ක් දක්වා භාරගැනීමට ඇමෙරිකාව එකඟවී තිබිණි.

ඔවුන් අතරින් 50 දෙනෙකු එසේ පළමුවරට භාරගැනීම පසුගිය මාසයේදී සිදුවිය.

එක්සත් ජාතීන්ගේ සරණාගතයින් පිළිබඳ කොමිසමේ කළමනාකාරීත්වය යටතේ ක්‍රියාත්මක වන එම ගිවිසුමට අනුව කාන්තාවන්, දරුවන් හා පවුල්වලට ප්‍රමුඛතාව හිමිවේ. මැනුස් දිවයිනේ රඳවා ගනු ලැබුවේ පිරිමින් පමණි.

කෙසේවෙතත්, අයදුම් ක්‍රියාදාමය කොපමණ කාලයක් පවතින්නේද යන්න සම්බන්ධයෙන් ඇමෙරිකාව තක්සේරුවක් දී නැති අතරම ඒ සියලු දෙනා ම භාරගැනීමට ද බැදී නැත.

අධිකරණය මැදිහත් වේද ?

පැපුවා නිව්ගිනි කඳවුර වසා දැමීමෙන් එරටේ ව්‍යවස්ථාවෙන් තහවුරු කර ඇති මානව හිමිකම් රැඳවියන්ට අහිමිවන බව දක්වමින් අඟහරුවාදා අවසන් මොහොතේදී නීතිඥයින් විසින් නඩුවක් ගොනු කරනු ලැබීය.

"මේ මිනිසුන් ප්‍රහාරවලට වගේම ශාරීරික හිංසාවට ලක්වෙන්න ඉඩ තිබෙනවා. ඒ නිසා ඔවුන්ගේ ව්‍යවස්ථාපිත හිමිකම් තහවුරු කරන ලෙස අප ඉල්ලා සිටිනවා" යැයි රැදවියන්ට සහය දෙන නීතිඥයෙකුවන ග්‍රෙග් බාර්න්ස් බීබීසී සමග ප්‍රකාශ කළේය.

"මේ මිනිසුන්ව පාරේ අතහැර ගියා වගේ. සිදුවෙන දේ නීති විරෝධීයි"

Image copyright HUMAN RIGHTS WATCH
Image caption 2013 සිට මැනුස් දිවයිනේ රැඳවුම් මධ්‍යස්ථානය තුළ රැඳවියන් 6 ක් මිය ගොස් තිබේ

දිවයිනේ ගොඩනගා ඇති විකල්ප නවාතැන්පොළ වෙත මෙම පුද්ගලයින් බලහත්කාරයෙන් ගෙනයාම වැළක්වීම මින් අපේක්ෂා කරන අතරම ඔවුන්ව ඔස්ට්‍රේලියාවට හෝ ආරක්‍ෂිත තුන්වෙනි පාර්ශ්වයේ රටකට මාරු කර යවන ලෙස ඉල්ලා සිටී.

මේ සම්බන්ධයෙන් මෙතෙක් තීන්දුවක් දී නැත.

සබැඳි විෂයයන්

මේ පුවතට සම්බන්ධ තවත් විස්තර

බීබීසී යෙන්