ඇමරිකානු ජනාධිපති ට්‍රම්ප්ගේ ආසියානු සංචාරය සහ ගමන්මග

Image copyright Reuters

ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සිය ආසියානු නිල සංචාරය ආරම්භ කළ අතර දින 11 තුළ ඔහු ජපානය, දකුණු කොරියාව, චීනය, වියට්නාමය සහ පිලිපීනය යන රටවල සංචාරය කිරීමට නියමිතය.

ඇමරිකානු ජනාධිපතිවරයෙකු විසින් වසර 25 පසු ආසියාවේ සිදු කරනු ලබන දීර්ඝතම සංචාරය මෙයයි.

ඇමරිකානු ජනාධිපතිවරයාගේ ආසියානු සංචාරය යෙදී ඇත්තේ උතුරු කොරියාවේ න්‍යෂ්ටික වැඩසටහන සහ මිසයිල අත්හදාබැලීම් මුල් කර ගනිමින් කොරියානු අර්ධද්වීපය තුළ පවතින උණුසුම්කාරී වාතාවරණය ඉහළ යමින් පවතින අතරතුරදීය.

ප්යොංයැං පාලනය සම්බන්ධයෙන් දැඩි ප්‍රතිපත්තියක පිහිටා කටයුතු කිරීම සඳහා චීනයට බල කරන අතරතුර ඇමරිකාව දකුණු කොරියාව සහ ජපානය සමග එක්සත් පෙරමුණක් වශයෙන් කටයුතු කරනු ඇති බව ජනාධිපති ට්‍රම්ප් විසින් පෙන්නුම් කරනු ඇති බවට බලාපොරොත්තු පළ වේ.

පළමුව ඇමරිකානු ප්‍රාන්තයක් වන හවායි වෙත පියාසර කළ ජනාධිපති ට්‍රම්ප් 1941 වසරේ දී ජපාන ගුවන් ප්‍රහාරවලට ලක් වූ 'පර්ල් හාබර්' හි USS ඇරිසෝනා ස්මාරකය වෙත ගොස් තිබේ.

එමෙන්ම ඔහු එක්සත් ජනපද ශාන්තිකර විධානය සමග කෙටි සාකච්ඡාවක නිරත විය.

ජපානය සහ දකුණු කොරියාව

Image copyright AFP
Image caption 'පර්ල් හාබර්' හි USS ඇරිසෝනා ස්මාරකය වෙත ගොස් ගෞරව දැක්වූ ජනාධිපති ට්‍රම්ප් සහ බිරිඳ මෙලනියා

ජනාධිපති ට්‍රම්ප් සහ ජනාධිපති ආර්යාව මෙලනියා ට්‍රම්ප් හවායි සිට ජපානයටත් එහි සිට දකුණු කොරියාවටත් පියාසර කරනු ඇත.

උතුරු කොරියාවේ බැලිස්ටික් මිසයිල අත්හදාබැලීම් මුල් කර ගනිමින් එරට නායක කිම් ජොන්ග් අන් සහ ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පෞද්ගලික මට්ටමේ වාග් සංග්‍රාමයක නිරතව සිටියහ.

ඇමරිකානු ජනාධිපතිවරයා දකුණු කොරියාව සහ උතුරු කොරියාව අතර පිහිටි දේශ සීමා කලාපයේ සංචාරය නොකරනු ඇති බව වාර්තා වේ.

කෙසේ නමුත් ඔහු සෝල් අගනුවර පිහිටි ඇමරිකානු හමුදා සංකීර්ණයක් වන හම්ප්‍රීස් කඳවුරේ සංචාරයක නිරත වීමට නියමිතය.

වියට්නාම සංචාරය අතරතුර ඇමරිකානු ජනාධිපතිවරයා ඩාන්ඇන්ග් නගරයේ පැවැත්වෙන ආසියා පැසිෆික් කලාපීය ආර්ථික සහයෝගීතා සමුළුවට (ඇපෙක්) සහභාගී වීමට නියමිත අතර හැනෝයි අගනුවර නිල සංචාරයක යෙදීමට නියමිතය.

අවසානයේ ජනාධිපති ට්‍රම්ප් පිලිපීනයේ මැනිලා අගනුවර පැවැත්වෙන අග්නිදිග ආසියානු රටවල සමුළුවකට සහභාගී වනු ඇත.

Image copyright AFP
Image caption හවායි වෙත පැමිණි ඇමරිකානු ජනාධිපතිවරයා සහ ජනාධිපති ආර්යාව

හිටපු ඇමරිකානු ජනාධිපතිවරයෙකු වන ජෝර්ජ් එච්.ඩබ්ලිව් බුෂ් 1991 අග භාගයේ සහ 1992 ආරම්භයේ ආසියාව තුළ මෙවැනිම දීර්ඝ සංචාරයක නිරත විය.

එම සංචාරය තුළ ජපානයට පැමිණි ජනාධිපති බුෂ් ක්ලාන්ත වී භෝජන සංග්‍රහයක් අතරතුර වමනය කර තිබිණි.

ජනාධිපති ට්‍රම්ප්ගේ නිල සංචාරයේ ගමන්මග

  • නොවැම්බර් 05, ඉරිදා: ජපානයට ළඟා වනු ඇත. එරට අගමැති ෂින්සෝ අබේ සහ වෘත්තීය මට්ටමේ ගොල්ෆ් ක්‍රීඩකයෙකු වන හිදෙකි මට්සුයමා සමග ජනාධිපති ට්‍රම්ප් ගොල්ෆ් ක්‍රීඩාවේ නිරත වීමට නියමිතය. අනතුරුව දෙරටේ නායකයන් අතර ද්වීපාර්ශ්වීය සාකච්ඡා සිදු කෙරුණු ඇත.
  • නොවැම්බර් 07, අඟහරුවාදා: දකුණු කොරියානු ජනාධිපති මූන් ජේ-ඉන් සමග සාකච්ඡා පැවැත්වීමට නියමිත අතර පසුව ඇමරිකානු ජනාධිපතිවරයා එරට පාර්ලිමේන්තුව ඇමතීමට නියමිතය.
  • නොවැම්බර් 08, බදාදා: චීනයට ළඟා වීමට නියමිත අතර එරට ජනාධිපති ෂී ජින්පිං සමග සාකච්ඡාවක් පැවැත්වීමට නියමිතය. එමෙන්ම ඇමරිකානු ජනාධිපතිවරයා වැඩසටහන් මාලාවකට ද සහභාගී වනු ඇත.
  • නොවැම්බර් 10, සිකුරාදා: වියට්නාමයේ ඩාන්ඇන්ග් නගරය වෙත ළඟා වී එහි පැවැත්වෙන ආසියා පැසිෆික් කලාපීය ආර්ථික සහයෝගීතා සමුළුවට සහභාගී වීමට නියමිතය.
  • නොවැම්බර් 11, සෙනසුරාදා: වියට්නාමයේ හැනෝයි අගනුවර බලා යාමට නියමිතය. වියට්නාම ජනාධිපති චන් ඩයිග් ක්වැන්ග් සහ එරට සෙසු නායකයන් සමග සාකච්ඡා පැවැත්වීමට නියමිතය.
  • නොවැම්බර් 12, ඉරිදා: මැනිලා අගනුවරට ළඟා වීමට නියමිතය. අග්නිදිග ආසියානු ජාතීන්ගේ සම්මේලනයට වසර 50 පිරීම නිමිත්තෙන් පැවැත්වෙන රාත්‍රී භෝජන සංග්‍රහයකට සහභාගී වනු ඇත.
  • නොවැම්බර් 13, සඳුදා: අග්නිදිග ආසියානු ජාතීන්ගේ සම්මේලනයේ සමුළුවකට සහභාගී වීමට නියමිත අතර ජනාධිපති රොඩ්රිගෝ දුටර්ටේ සමග සාකච්ඡාවක් පැවැත්වීමට නියමිතය.

සබැඳි යොමු:

මේ පුවතට සම්බන්ධ තවත් විස්තර