සැඟවූ කැමරා ඔස්සේ ගත් අසැබි දර්ශන මැඩීමේ තැතක්

  • 2017 නොවැම්බර් 4
Image copyright South Korea police

මහමග හෝ පොදු ප්‍රවාහන සේවා තුළ දී කාන්තාවන් ලිංගික හිංසනයට ලක්වීම සංවර්ධනය වෙමින් පවතින රටවල මෙන්ම සංවර්ධිත රටවලට ද පොදු තත්ත්වයකි.

ශාරීරිකව නොවුන ද ඇතැම්විට කාන්තාවන් වචනයෙන් හෝ අභිනයෙන් පවා ලිංගික හිංසනයට ලක්වේ.

මේ අතර කාන්තාවන්ගේ කොට ගවුම් ඇතුළත දර්ශන රහසින් පටිගත කිරීම දකුණු කොරියාව තුළ විශාල සමාජයීය ගැටලුවක් බවට පත්ව තිබේ.

සඟවන ලද කැමරා ඔස්සේ පටිගත කරන ලද අසැබි දර්ශන හා සම්බන්ධ ලිංගික අපරාධ දහස් ගණනාවක් දකුණු කොරියාව තුළ වසරක් පාසා වාර්තා වේ.

රහසින් බලා ලිංගික ආශ්වාදයක් ලැබිය හැකි එවැනි වීඩියෝ දර්ශන සොයා අන්තර්ජාලයේ සැරිසරන පුද්ගලයන් කම්පනයට පත් කළ හැකි ක්‍රමවේදයක් වෙත මේ වනවිට දකුණු කොරියානු බලධාරීන්ගේ අවධානය යොමුවී තිබේ.

ඔබේ දුරකථනයේ හෝ පරිගණකයේ මෙය වාදනය කිරීමට අදාළ මෘදුකාංග නැත
සැඟවූ කැමරා මගින් අසැබි දර්ශන මැඩීමට "කම්පන ප්‍රතිකාර"

රහසින් පටිගත කරන ලද බව හැඟවෙන ඉහත කී ආකාරයේ ව්‍යාජ වීඩියෝ දර්ශන පෙළක් නිෂ්පාදනය කර ඇති දකුණු කොරියානු පොලිසිය විසින් එම දර්ශන අන්තර්ජාලයට මුදා හරිනු ලැබීය.

ඒ පිළිබඳ සැක නොකළ රහසින් බලා සතුටුවන්නන් විසින් එම දර්ශන සහිත වීඩියෝ දස දහස් වාරයක් බාගත කර ගනු ලැබ ඇත.

අදාළ වීඩියෝ පට නරඹන අතරතුර "ඇය සිය දිවි නසාගැනීමට යොමු කළේ ඔබ විය හැකියි" යනුවෙන් සඳහන් වැකියක් තිරය මත දර්ශනය වේ.

එමෙන්ම එවැනි වීඩියෝ දර්ශන අඩංගු වෙබ් අඩවි පොලිසියේ නිරීක්ෂණයට ලක්වන බවත් එහි සඳහන් කර ඇත.

දකුණු කොරියාවේ නීතියට අනුව සැඟවූ කැමරා මගින් දර්ශන පටිගත කරන පුද්ගලයන්ට එරෙහිව වසර පහක් දක්වා වූ සිර දඬුවමක් නියම කළ හැකිය.

රහසේ පටිගත කළ අසැබි දර්ශන නරඹන සංඛ්‍යාව "කම්පන ප්‍රතිකාරය" මගින් අඩුවනු ඇති බවට දකුණු කොරියානු පොලිසිය විශ්වාසය පළ කරයි.

සබැඳි යොමු:

මේ පුවතට සම්බන්ධ තවත් විස්තර