'බ්‍රෝඩ්බෑන්ඩ්' අන්තර්ජාල සැපයුමකට අනපේක්ෂිත සතුරු ප්‍රහාරයක්

Image copyright Getty Images

ඩොලර් මිලියන ගණනක් වටිනා 'බ්‍රෝඩ්බෑන්ඩ්' අන්තර්ජාල සැපයුමකට දැවැන්ත ප්‍රහාරයක් එල්ල වෙමින් පවතී.

ඒ ප්‍රහාරය එල්ල කරන්නේ විශේෂ තාක්ෂණික දැනුමක් සහිත විදුලි සංදේශ හෝ පරිගණක විශේෂඥයන් පිරිසක් නොවේ.

ඕස්ට්‍රේලියාවේ නැෂනල් බ්‍රෝඩ්බෑන්ඩ් නෙට්වර්ක් (National Broadband Network - NBN) සමාගමට අයත් බ්‍රෝඩ්බෑන්ඩ් ජාලයට මේ අනපේක්ෂිත ප්‍රහාරය එල්ල වෙමින් තිබෙන්නේ කොකටුවන්ගෙනි.

කොකටුවන් විසින් සපා කනු ලැබූ බ්‍රෝඩ්බෑන්ඩ් රැහැන් ප්‍රතිසංස්කරණය කිරීම පිණිස ඕස්ට්‍රේලියානු ඩොලර් 80,000 කට ($61,500, £47,000) ආසන්න මුදලක් වැය කිරීමට සිදු වූ බව සමාගම පවසයි.

රැහැන්වලට සිදු වී තිබෙන සම්පූර්ණ අලාභය තවමත් හෙළි වී නොමැති බැවින් බ්‍රෝඩ්බෑන්ඩ් සැපයුම යථා තත්වයට පත්කිරීම පිණිස තවත් විශාල මුදලක් වැයවනු ඇති බව ද NBN සමාගම සඳහන් කරයි.

ඕස්ට්‍රේලියාවේ බ්‍රෝඩ්බෑන්ඩ් අන්තර්ජාල සම්බන්ධතාවල වේගය ඉතා අඩු බවට දැනටමත් විවේචන එල්ල වෙමින් පවතී. ලොව අන්තර්ජාල සම්බන්ධතාවල වේගය සලකා බැලීමේදී ඕස්ට්‍රේලියාවට හිමිවෙන්නේ 50 වෙනි ස්ථානයයි.

මේ ගැටලුවට විසඳුමක් වශයෙන් රට පුරා නව විදුලි සංදේශ යටිතල පහසුකම් පද්ධතියක් නිර්මාණය කිරීමේ ව්‍යාපෘතියක් දියත් කරනු ලැබ තිබේ. එය 2011 දී නිමාවීමට නියමිතය.

අදාළ ව්‍යාපෘතියට සම්බන්ධ ඉංජිනේරුවන් සේවය සඳහා වාර්තා කළ අවස්ථාවල ඔවුන්ට අනපේක්ෂිත ගැටලුවකට මුහුණ දීමට සිදු විය; ව්‍යාපෘතිය සඳහා ගෙනැවිත් තිබුණු විදුලි සහ විදුලි සංදේශ රැහැන් සපා කා විනාශ කර දමා තිබුණි.

ඒ සෑම අවස්ථාවකම ඩොලර් දස දහස් ගණනක වියදමින් අලුතින් රැහැන් සැපයීමට සමාගමට සිදු විය.

Image copyright NBN

සාමාන්‍යයෙන් කොකටුවන් ආහාරයට ගනු ලබන්නේ පලතුරු, ඇට වර්ග, ලී සහ පොතු වර්ගය.

විදුලි රැහැන් අනුභව කිරීම කොකටුවන්ගේ "සාමාන්‍ය සිරිත නොවන" බව සත්ව හැසිරීම් සම්බන්ධ විශේෂඥවරියක වන ගිසෙලා කප්ලාන් (Gisela Kaplan) රොයිටර් පුවත් සේවයට පවසා තිබුණි.

එම රැහැන්වල වර්ණය හෝ පිහිටීම කොකටුවන් ආකර්ෂණය වීමට හේතු වන්නට ඇති බව ඇය ගේ අදහසය.

ඩොලර් බිලියන තුනකට ආසන්න සිය අන්තර්ජාල පහසුකම් ජාලය කොකටුවන්ගෙන් ආරක්ෂා කරගැනීම පිණිස රැහැන් ආරක්‍ෂිත කවරයකින් ආවරණය කරන බව ද සමාගම NBN පවසයි.

සබැඳි විෂයයන්