ලෙබනනයේ අගමැතිට "ජීවිත තර්ජන"

  • 2017 නොවැම්බර් 4
Mr Hariri has been in charge for less than a year Image copyright Reuters

රූපවාහිනිය ඔස්සේ ජනතාව අමතා හදිසියේම ප්‍රකාශයක් කළ ලෙබනනයේ අගමැති සාද් අල් හරිරි, සිය ජීවිතයට තර්ජන පවතින බැවින් පදවියෙන් ඉල්ලා අස්වන බව නිවේදනය කළේය.

සාද් අල් හරිරි (Saad al-Hariri) ගේ පියා වන හිටපු අගමැති රෆීක් අල් හරීරි (Rafik al-Hariri) 2005 දී ඝාතනය කෙරිණ.

සිය ඉල්ලා අස්වීම නිවේදනය කරමින් ඉරානය දැඩි විවේචනයට ලක් කළ අගමැතිවරයා, රටවල් කිහිපයක "භීතිය සහ විනාශය" වපුරමින් සිටින බවට ඉරානයට චෝදනා කළේය.

2009 සිට 2011 දක්වා ලෙබනනයේ අගමැති පදවිය හෙබැවූ සාද් අල් හරිරි, පසුගිය වසරේ නොවැම්බර් මාසයේදී යළිත් වරක් අගමැති පදවියට පත් කෙරිණ.

ඒ අවස්ථාවේ ඔහු රටේ නායකත්වය භාරගත්තේ, දෙවසරක දේශපාලන කඹ ඇදීම්වලින් අනතුරුව ලෙබනනයට "නව යුගයක් උදාකරන" බවට ප්‍රතිඥා දෙමිනි.

සවුදි අරාබියෙන් බලපෑම්?

සවුදි අරාබියේ රියාද් අගනුවර සිට රූපවාහිනිය ඔස්සේ සිය රටවැසියන් ඇමතූ අගමැතිවරයා කියා සිටියේ සිය පියා ඝාතනය කිරීමට පෙරාතුව පැවති තත්වයට සමාන වාතාවරණයක් වර්තමානයේ ලෙබනනයේ පවතින බවය.

"මගේ ජීවිතය ඉලක්ක කරමින් රහසිගතව දියත්වෙමින් පවතින කුමන්ත්‍රණයක් ගැන මට හැඟුණා," ඔහු පැවසීය.

ලෙබනනය තුළ ද ප්‍රබල බලයක් උසුලන, ඉරානයේ සහාය ලබන ෂියා භක්තික හෙස්බොල්ලා ව්‍යාපාරය ද ඔහුගේ දැඩි විවේචනයට ලක්විය.

ගතව ගිය දින කිහිපය ඇතුළත ඔහු කිහිප වතාවක්ම සවුදි අරාබියේ සංචාරය කළේය. සවුදි අරාබිය ඉරානය දැඩි විවේචනයට ලක් කරන රටකි.

සාද් අල් හරිරිගේ හදිසි ඉල්ලා අස්වීම පිළිබඳව විශ්ලේෂණයක යෙදෙන බීබීසී යේ අරාබි කටයුතු පිළිබඳ සංස්කාරක සෙබස්තියන් උෂර් (Sebastian Usher) පවසන්නේ, ඔහුගේ හදිසි තීරණය පිළිබඳව බොහෝ දෙනා විශ්මය පත් වූ බවය.

ඒ සමගම නිරන්තරයෙන් අර්බුද පවතින ලෙබනන දේශපාලනයේ යළිත් වරක් අවිනිශ්චිත වාතාවරණයක් මතු වී තිබෙන බව පෙන්වා දෙන බීබීසී සංස්කාරකවරයා, අගමැතිවරයාගේ පවුලේ ප්‍රධානම ආධාරකරු වන සෞදි අරාබිය එම තීරණය ගන්නා මෙන් බලපෑම් කරන්නට ඇතැයි දූෂමාන ආරංචි පැතිර යමින් තිබෙන බව ද වැඩිදුරටත් සඳහන් කරයි.

සබැඳි විෂයයන්

මේ පුවතට සම්බන්ධ තවත් විස්තර