ඇමෙරිකානු විසඳුම අවතක්සේරු නොකළ යුතුයි- ඩොනල්ඩ් ට්‍රම්ප්

Image copyright AFP
Image caption ඩොනල්ඩ් ට්‍රම්ප් ජපාන අගමැතිවරයා සමඟ

කිසිදු රටක්, ජාතියක් හෝ හෝ ආඥාදායකයකු විසින් 'ඇමෙරිකානු විසඳුම' අවතක්සේරු කරනු නොලැබිය යුතුව ඇතැයි එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් කියා සිටියි.

ජනාධිපතිවරයා එම අදහස අවධාරණය කළේ ජපානයේ දී ඇමෙරිකානු සහ ජපන් හමුදා භටයන් අමතමිනි.

"කිසිම පුද්ගලයෙක් ,කිසිම ආඥාදායකයෙක් හෝ කිසිම රෙජීමයක් (regime) ඇමෙරිකානු විසඳුම අවතක්සේරු නොකළ යුතු"යයි ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් කියා සිටියේ ඇමෙරිකානු සහ ජපන් සොල්දාදුවන්ගේ ප්‍රීති ඝෝෂා මැදයි.

සිය දීර්ඝ ආසියානු සංචාරය ආරම්භ කරමින්, එහි පළමු රට හැටියට ජපානයට ලඟා වූ ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්, තෝකියෝ අගනුවර ආසන්නයේ පිහිටි 'යොකොටා' (Yokota) හමුදා කඳවුරේ දී ඇමෙරිකානු සේනාංක අමතා කතා කළේය.

සාමය සහ නිදහස ආරක්ෂා කිරීමට අවශ්‍ය සම්පත් තමා ජනාධිපති පදවියේ කටයුතු කරන තාක් ඇමෙරිකානු හමුදාවට සපයන බවට ඔහු එම කතාවේ දී ප්‍රතිඥාවක්ද දුන්නේය.

එසේම ඔහු සිය කතාවේ දී ජපන්- ඇමෙරිකානු සහයෝගීතාවය අගය කිරීමට ද අමතක කළේ නැත.

Image copyright AFP
Image caption කබාය ගලවා වෙඩි නොවදින ඇඳුමකට

මේ සංචාරය සිදු කෙරෙන්නේ 'ප්යෝන්ග්යෑන්' පාලනයේ න්‍යෂ්ටික ව්‍යාපෘතිය මුල්කර ගනිමින් උතුරු කොරියාවත් සමඟ ගැටුම්කාරී පරිසරයක් පවතින අතරයි.

ආසියාව බලා එමින් සිටියදී සිය ගුවන් යානයේ දී (Air Force One) මාධ්‍යවේදීන් ඇමතූ ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්, ආසියානු සංචාරය තුළ සිදු කෙරෙන සිය සාකච්ඡාවන්හි දී උතුරු කොරියානු අර්බුදයට මුල් තැනක් ලැබෙනු ඇතැයි ද සඳහන් කර තිබුණි.

ජපානයේ පය තැබීමට පෙර ගුවනේ දී පැවැත්වුන එම මාධ්‍ය හමුවේ දී අදහස් දැක්වූ ඇමෙරිකානු නායකයා, මෙවර සංචාරය අතරතුර තමාට රුසියාවේ ජනාධිපති ව්ලදිමීර් පුතින් මුණ ගැසෙනු ඇතැයි බලාපොරොත්තු තබන බවත් සඳහන් කළේය.

"මම හිතනවා අපට ජනාධිපති පුතින් මුණ ගැසේවි කියල. උතුරු කොරියානු ප්‍රශ්නය විසඳා ගන්න අපට පුතින් ගේ සහයෝගය අවශ්‍යයි" ඩොනල්ඩ් ට්‍රම්ප් සඳහන් කළේය.

ජපන් සංචාරය ආරම්භ කරමින් අගමැති ෂින්සෝ අබේ මුණ ගැසුන ජනාධිපති ට්‍රම්ප් ඔහුත් සමඟ 'ගොල්ෆ්' වටයක් ක්‍රීඩා කළ බවත් ජපන් වාර්තා පවසයි.

Image caption ජනාධිපති ට්‍රම්ප් ගේ ආසියානු සංචාරය

ජනාධිපති ට්‍රම්ප් 'තෝකියෝ' බලා එමින් සිටියදී 'හවායි' දූපතේ නතරව දෙවන ලෝක මහා සංග්‍රාමය අවධියේ 1941 දී ජපානය විසින් 'පර්ල් හාබර්' වරායට බෝම්බ දැමීමෙන් අත් වූ විනාශයේ නෂ්ටාවශේෂ දැක ගත්තේය.

ඇමෙරිකාව දෙවන ලෝක මහා සංග්‍රාමයට සම්බන්ධ වුණේ ජපන් අධිරාජ්‍ය හමුදා විසින් අනපේක්ෂිත මට්ටමින් 'පර්ල් හාබර්' වරායට බෝම්බ හෙළීමත් සමඟයි.

එම ප්‍රහාරයේ දී ගිල්වා දමන ලද ඇමෙරිකානු 'ඇරිසෝනා' (USS Arizona) නෞකාව ජනාධිපති නිරීක්ෂණය කළ බව ඇමෙරිකානු වාර්තා මගින් පැවසෙයි.

වසර විසි පහක පමණ කාලයක් ඇතුළත ඇමෙරිකානු ජනාධිපතිවරයෙක් ආසියාවේ සිදු කරන දීර්ඝතම සංචාරය මෙයයි.

ජපානයේ සංචාරයෙන් අනතුරුව දකුණු කොරියාවට සහ චීනයට යන ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ඉන් අනතුරුව සමුළු දෙකකට සහභාගී වීම සඳහා පිලිපීනයට සහ වියට්නාමයට යනු ඇත.

Image copyright Reuters
Image caption අගමැති ෂින්සෝ අබේ මුණ ගැසුන ජනාධිපති ට්‍රම්ප් ඔහුත් සමඟ 'ගොල්ෆ්' වටයක් ක්‍රීඩා කළේය

දකුණු කොරියාවට යන ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් 'සෝල්' (Seoul ) අගනුවර පිහිටි හම්ෆ්‍රීස් (Camp Humphreys) ඇමෙරිකානු යුද කඳවුරේ සංචාරයක නිරත වනු ඇත.

ඇමෙරිකානු නායකයා ඉන් අනතුරුව වියට්නාමයේ 'ඩා නැන්ග්' (Da Nang) නගරයට ගොස් එහි පැවැත්වෙන ආසියා ශාන්තිකර ආර්ථික සහයෝගීතා සමුළුවට සහභාගී වෙන අතර එතනින් පිටත්ව 'හැනෝයි' අගනුවර රාජ්‍ය සංචාරයක නිරත වෙයි..

අනතුරුව පිලිපීනයට යන ජනාධිපති ට්‍රම්ප් නොවැම්බර් 13 දින මැනිලා අගනුවර දී ගිනිකොණ ආසියානු රටවල සමුළුවකට සහභාගී වනු ඇත.

මෙම සංචාරයේ තවත් විශේෂත්වයක් වන්නේ ඇමෙරිකානු ජනාධිපතිවරයාගේ නිල සංචාරය තවත් අතිරේක දවසකින් දීර්ඝ කිරීමට සිදු වීමයි.

Image copyright AFP
Image caption 'පර්ල් හාබර්' හි USS ඇරිසෝනා ස්මාරකය වෙත ගොස් ගෞරව දැක්වූ ජනාධිපති ට්‍රම්ප් සහ බිරිඳ මෙලනියා

එම දීර්ඝ කරනු ලැබීම සිදු කර තිබෙන්නේ, ඊ ළඟ දිනයේ ආරම්භ වෙන නැගෙනහිර ආසියානු රටවල සමුළුවකට සහභාගී වීම සඳහාය.

1991 වසර අවසානයේ සහ 1992 වසර සමාරම්භයේ හිටපු ජනාධිපති ජෝර්ජ් බුෂ් (ජ්‍යෙෂ්ඨ) මෙවැනි දීර්ඝ ආසියානු සංචාරයක නිරත විය.

සබැඳි පුවත්;

මේ පුවතට සම්බන්ධ තවත් විස්තර