සෞදි රජ කුමරෙක් හෙලිකොප්ටර් අනතුරකින් මිය යයි

  • 2017 නොවැම්බර් 6
Image copyright TWITTER/ASIRMUNCIPAL
Image caption ජීවිතක්‍ෂයට පත් මන්සූර් බීන් මුක්රින් (Prince Mansour bin Muqrin) කුමරු අසීර් (Asir) ප්‍රාන්තයේ ආණ්ඩුකාරයා විය.

සෞදි අරාබි රජ පවුලේ ජ්‍යෙෂ්ඨ කුමාරයකු සහ තවත් නිලධාරීන් හත් දෙනෙකු යේමන් දේශසීමාව අසල සිදු වූ හෙලිකොප්ටර් යානා අනතුරකින් මරණයට පත් වූ බව සෞදි රාජ්‍ය මාධ්‍ය නිවේදනය කරයි.

එම අනතුරෙන් ජීවිතක්‍ෂයට පත් මන්සූර් බීන් මුක්රින් (Prince Mansour bin Muqrin) කුමරු අසීර් (Asir) ප්‍රාන්තයේ ආණ්ඩුකාරයා විය.

ඉරිදා (05) දිනයේ නිරීක්ෂණ චාරිකාවක නිරතව සවස් භාගයේ ආපසු පැමිණෙමින් සිටි මුක්රින් කුමරුන් රැගත් හෙලිකොප්ටර් යානය සෞදි-යේමන් දේශ සීමාවේ 'අබා' (Abha) ප්‍රදේශයේ දී කඩා වැටී ඇතැයි සෞදි අරාබි අභ්‍යන්තර කටයුතු භාර අමාත්‍යාංශය පවසයි.

අනතුරට හේතුව කුමක්ද යන්න එම නිවේදනයේ සඳහන් නොවේ.

එහෙත් එම අනතුර වාර්තා වන්නේ සෞදි අරාබියේ දේශපාලන සහ ව්‍යාපාරික නායකත්වය සම්බන්ධයෙන් සිදු කෙරුණ විශාල බල පෙරළියකින් පැය කීපයකට පසුවය.

දූෂණ මැඩලීමේ සෞදි ආයතනයට නායකත්වය දෙන දැනට තිස් දෙහැවිරිදි, ඔටුන්න හිමි මොහොමඩ් බින් සල්මාන් (Mohammed bin Salman) කුමරුන් විසින් දෙන ලද නියෝගයක් අනුව, කුමාරවරුන් එකොළොස් දෙනෙක්, ඇමතිවරුන් හතර දෙනෙක් සහ හිටපු ඇමතිවරුන් ගණනාවක් රඳවා තබා ඇති බව ඉරිදා (නොවැ.05) වාර්තා විය.

එම අනපේක්ෂිත පියවර මගින් පෙන්නුම් කෙරෙන්නේ ඔටුන්න හිමි කුමරා සිය බලය ශක්තිමත් කර ගැනීමට ගනු ලබන ප්‍රයත්නය යයි විශ්ලේෂකයෝ පවසති.

Image caption අනතුර සිදු වූ 'අසීර්'කලාපය දැක්වෙන සිතියමකි

මේ තොරතුරුත් දැනගන්න :

මන්සූර් බීන් මුක්රින් (Prince Mansour bin Muqrin) කුමරු සෞදි අරාබියේ බුද්ධි අංශයේ හිටපු ප්‍රධානියකු වන මුක්රීන් බීන් අබ්දෙලාසිස්ගේ (Muqrin bin Abdulaziz) පුත්‍රයාය.

ඔටුන්නට හිමිකම් කියන ලද යුවරජව සිටි මුක්රීන් බීන් අබ්දෙලාසිස්, දැනට ඔටුන්න හිමි මොහොමඩ් බීන් සල්මාන් (Mohammed bin Salman) කුමරාගේ පියා වන 81 හැවිරිදි සල්මාන් රජතුමා විසින් 2015 ජනවාරි මාසයේ ඉන් ඈත් කරනු ලැබුණි.

මන්සූර් බීන් මුක්රින් කුමරාගේ අභාවය නිවේදනය කරන සෞදි අභ්‍යන්තර කටයුතු භාර අමාත්‍යංශය එම කුමරා සහ තවත් නිලධාරීන් හත් දෙනෙකු ඉරිදා උදෑසන හෙලිකොප්ටර් යානයකට ඇතුල් වූ බව සඳහන් කරයි.

එහි දැක්වෙන පරිදි සෞදි අරාබියේ බටහිර නගරයක් වන 'අබා' හි වෙරළාසන්න ව්‍යාපෘතී කිහිපයක් අධීක්ෂණය කිරීම එම සංචාරයේ අරමුණ විය.

"ඉරිදා හවස කණ්ඩායම රැගත් හෙලිකොප්ටරය ආපසු පියාසර කරමින් තිබියදී හිටි අඩියේ යානය සමඟ පැවති සබඳතා ඇනහිටී අතර එය රේඩාර් තිරයෙන් මැකී ගියා. සෝදිසි මෙහෙයුමේ දී යානයේ සුන්බුන් සොයා ගත්තා" සෞදි අරාබි මාධ්‍ය මධ්‍යස්ථානය මගින් නිකුත් කරන ලද අභ්‍යන්තර කටයුතු අමාත්‍යංශ ප්‍රකාශයේ සඳහන් වේ.

සෞදි අරාබිය වසර දෙක හමාරක පමණ කාලයක් තිස්සේ පවතින යේමන් සිවිල් යුද්ධයේ දී ජාත්‍යන්තර මට්ටමින් පිළි ගැනීමට ලක්වෙන යේමන ආණ්ඩුවට සහයෝගය දක්වයි.

මෙම හෙලිකොප්ටර් යානා අනතුර සහ යේමනයේ පවතින ගැටුම් අතර සම්බන්ධතාවක් ඇති බවක් සෞදි අභ්‍යන්තර කටයුතු භාර අමාත්‍යංශ නිවේදනයේ සඳහන් නොවේ.

Image copyright Reuters
Image caption දූෂණ චෝදනා ය‍ටතේ ඉරිදා අත්අඩංගුවට ගත් අල්වලීද් කුමරු

එහෙත් පසුගිය සෙනසුරාදා (නොවැ. 04) සෞදි අරාබි හමුදාව යේමනයේ හූති (Houthi) කැරලිකරුවන් විසින් එල්ල කරන ලද බැලිස්ටික් මිසයිල ප්‍රහාරයක් රියාද් අගනුවර ආසන්නයේ දී වළක්වාලමින් එය විනාශ කරන ලද බවක් වාර්තා විය.

එම මිසයිල ප්‍රහාරයට ප්‍රතිචාරය දක්වන රියාද් පාලනය යේමනය සමඟ ඇති සියලු ගුවන්-මුහුදු සහ සියලු ගොඩබිම් මාර්ග වසා දමන බව ඉරිදා (නොවැ.05) නිවේදනය කර තිබුණි.

අදාළ මිසයිල සැපයීම සම්බන්ධයෙන් සෞදි අරාබිය ඉරානයට චෝදනා කරයි.

මේ පුවතට සම්බන්ධ තවත් විස්තර