ඔස්ට්‍රේලියානු අගමැතිගෙන් 'මැනුස්' කඳවුරුවාසීන්ට ඉල්ලීමක්

  • 2017 නොවැම්බර් 10
Image copyright Behrous Boochani
Image caption සරණාගත කඳවුර තුළ දර්ශනයක්

ඔස්ට්‍රේලියානු අගමැති මැල්කම් ටර්න්බුල්, 'මැනුස්' පැපුවා නිව්ගිනි රැඳවුම් මධ්‍යස්ථානයෙන් ඉවත් වෙන මෙන් එහි රැඳී සිටින හයසීයක් පමණ සරණාගතයන්ගෙන් ඉල්ලීමක් කරයි.

එම රැඳවුම් කඳවුර වසා දමමින් ඉන් ඉවත්ව යන ලෙස දැනුම් දී ඇතත් සරණාගතයෝ එම ඉල්ලීමට අනුගත නොවෙමින් දිගටම කඳවුර තුළ රැඳී සිටිති.

පැපුවා නිව්ගිනි පාලනය සරණාගතයන් සඳහා දැනට වාසය කරන රැඳවුම් මධ්‍යස්ථානය වෙනුවට විකල්ප ස්ථාන හඳුන්වා දී ඇතත් පදිංචිය මාරු කිරීමට ඔවුන් සූදානම් නැත.

සරණාගතයන් එම ප්‍රතික්ෂේප කිරීම කරන්නේ තමන් 'මැනුස්' කඳවුරෙන් ඉවත්ව වෙනත් තැන් වලට ගියහොත් දූපත් වාසීන්ගේ ප්‍රහාරවලට ලක්විය හැකි බව පවසමිනි.

පැපුවා නිව්ගිනි 'මැනුස්' රැඳවුම් මධ්‍යස්ථානය මෙයින් දින දහයකට පෙර නිල මට්ටමින් වසා දමන ලද අතර සරණාගතයන්ට ආහාර සැපයුම ද නතර කොට ඇත.

එපමණක් නොව එම මධ්‍යස්ථානයේ ජලය සහ විදුලිය සැපයුමත් විසන්ධි කරනු ලැබ ඇති බව වාර්තා වෙයි.

Image caption ඔස්ට්‍රේලියාව එරට සරණාගතභාවය පතා එන්නන් වෙනත් රටවල රැඳවුම් මධ්‍යස්ථාන වලට යවයි.

රැඳවුම් මධ්‍යස්ථානය තුළ සනීපාරක්ෂක පහසුකම් පිරිහුණ තත්වයක් යටතේත් දිගටම එහි රැඳී සිටීම සඳහා සරණාගතයන් පොළඹවන බවට අගමැති මැල්කම් ටර්න්බුල් ඔස්ට්‍රේලියානු සමාජ සංවිධානවල ක්‍රියාධරයන්ට චෝදනා කරයි.

ශ්‍රී ලාංකික සරණාගතයන්

රැඳවුම් මධ්‍යස්ථානය හැර යාම ප්‍රතික්‍ෂේප කරමින් සිටින රැඳවියන් අතර ශ්‍රී ලාංකිකයන් 28 දෙනෙකු පමණ ද සිටින බව ඔවුන් වෙනුවෙන් පෙනී සිටින සංවිධානයක් පවසයි.

Image copyright Behrous Boochani
Image caption ජල පහසුකම් විසන්ධි කිරීමෙන් අනතුරුයි ලිඳක් කණින රැඳවියෙක්

එම කඳවුරේ සිටින ශ්‍රී ලාංකිකයන් අතර බහුතරය දෙමළ වන අතර, සිංහල කිහිප දෙනෙකු ද සිටින බව ඕස්ට්‍රේලියාවේ Refugee Action Coalition සංවිධානයේ ඉයන් රින්ටූල් (Ian Rintoul) බීබීසී සිංහල සේවයට පැවසීය.

ඔහු පවසන පරිදි එහි සිටින ශ්‍රී ලාංකිකයන් බොහෝ දෙනාම පාහේ සරණාගතයින් ලෙසින් ඔස්ට්‍රේලියාව විසින් පිළිගනු ලැබූවන්ය.

මැනුස් දූපතේ කඳවුරේ සිටින රැඳවියන් 600 අතරින් බහුතරය සරණාගතයින් ලෙසින් පිළිගෙන ඇති නමුත්, ඔවුන් කඳවුරෙන් නිදහස් කිරීම වෙනුවට වෙනත් මධ්‍යස්ථාන තුනකට පිටත් කිරීමට පැපුවා නිව්ගිනි බලධාරීහු උත්සාහ කරති.

එම උත්සාහයට එරෙහිව රැඳවුම් මධ්‍යස්ථානය හැර යාම ප්‍රතික්‍ෂේප කරමින් සිටින රැඳවියන් බොහෝ පිරිසක් දැඩි රෝගී තත්ත්වයන්ගෙන් පීඩා විඳින බව ඉයන් රින්ටූල් මෙන්ම ඔවුන් වෙනුවෙන් පෙනී සිටින නීතිවේදීහු ද පවසති.

Image copyright Getty Images
Image caption අගමැති මැල්කම් ටර්න්බුල්

කඳවුර වසා දැමූ බලධාරීන් ජලය සහ විදුලි බල සැපයුම කප්පාදු කිරීම හේතුවෙන් විදුලිය, ජලය සහ ආහාර නොමැතිව දිවි ගෙවීමට ඔවුන්ට සිදු වී ඇති බවත් ඉයන් රින්ටූල් සඳහන් කළේය.

සබැඳි පුවත්;

මේ පුවතට සම්බන්ධ තවත් විස්තර