ස්පාඤ්ඤ අගමැති බෙදුම්වාදී කැටලෝනියාවේ

  • 2017 නොවැම්බර් 12
Image copyright Reuters
Image caption අගමැති රයෝයි කැටලෝනියා මහජන පක්ෂයේ නායකයා සමඟ

ලබන දෙසැම්බර් මාසයේ 21 වෙනිදා පැවැත්වෙන මැතිවරණයෙන් අනතුරුව කැටලෝනියානු "බෙදුම්වාදී අර්බුදයේ" නිමාව තීන්දු කෙරෙනු ඇතැයි ස්පාඤ්ඤ අගමැති මරියානෝ රයෝයි (Mariano Rajoy) පවසයි.

අගමැතිවරයා එම ප්‍රකාශය කළේ කැටලෝනියානු අර්බුදය උත්සන්න වීමත් සමඟ ප්‍රාන්ත පාලන බල අධිකාරිය නෙරපා හරිනු ලැබීමෙන් අනතුරුව පළමු වරට එම ප්‍රාන්තයේ සංචාරයක නිරත වෙමිනි.

දෙසැම්බර් මැතිවරණය සඳහා සිය මහජන පක්ෂයේ (PP) ප්‍රචාරක ව්‍යාපාරය දියත් කරමින් අදහස් දැක්වූ අගමැති මරියානෝ රයෝයි 'බලාපොරොත්තු වලින් ඡන්ද පෙට්ටි පුරවන්නැයි' කැටලෝනියානු නිදහස සඳහා පැවැත්වුන පසුගිය ජනමත විචාරණයේ දී ඡන්දය නොදී නිහඩව සිටි බහුතර ප්‍රජාවගෙන් ඉල්ලීමක් ද කළේය.

හෝටලයක රැඟුම් ශාලාවක සිට අදහස් දැක්වූ ස්පාඤ්ඤ අගමැතිවරයා සිය කැටලෝනියානු සංචාරයේ දී එම ප්‍රාන්තයේ නිදහස්වාදීන් කිසිවකු මුණ නොගැසුනි.

කැටලෝනියානු නිදහස තීන්දු කෙරුණ මතභේදයට තුඩු දුන් ඒක පාර්ශ්වීය ජනමත විචාරණයෙන් අනතුරුව එම ප්‍රාන්තය 'මැඩ්රිඩ්' පාලනය යටතට පවරා ගැනීමට ස්පාඤ්ඤ ආණ්ඩුව මෙයින් සති දෙකකට පෙර පියවර ගත්තේය.

Image copyright Getty Images
Image caption අගමැතිවරයාගේ මහජන පක්ෂයේ ආධාරකරුවන්

එම තීන්දුව යුක්ති සහගත කරමින් 'බාසිලෝනා' නගරයේ සිට තව දුරටත් අදහස් දැක්වූ ස්පාඤ්ඤ අගමැතිවරයා, පසුගිය මාසයේ පැවැත්වුන ජනමත විචාරණයෙන් අනතුරුව " එය හැර වෙනත් මාවතක්" තමාට නොවිනැයි සඳහන් කළේය.

කැටලෝනියානු ප්‍රාන්ත පාලනයේ හිටපු ජනාධිපති කාලෙස් පුයිජ්මොන්ට් සගයන් කීප දෙනකුත් සමඟ රටින් පළා ගොස් බෙල්ජියමේ 'බ්‍රසල්ස්' අගනුවර ජීවත් වෙන අතර ඔහුගේ තවත් ඇමතිවරුන් කීප දෙනෙක් මැඩ්රිඩ් පාලනය විසින් සිරගත කරනු ලැබ ඇත.

එම සිරගත කිරීම්වලට එරෙහිව සෙනසුරාදා පැවැත්වුන විරෝධතා ව්‍යාපාරවලට හත් ලක්ෂ පනස් දහසකට අධික ජනකායක් සහභාගී විනැයි පොලිසිය විසින් ඇස්තමේන්තු කරනු ලැබ ඇත.

දහස් සංඛ්‍යාත ජනකාය බාසිලෝනා නගරයේ වීදි ඔස්සේ පෙළපාලියෙන් ගමන් ගනිමින් සිරගත කර සිටින ඇමතිවරුන් මුදා හරින මෙන් ස්පාඤ්ඤ ආණ්ඩුවට බල කළහ.

"කැටලෝනියාව ජනරජයක්" යනුවෙන් හඬ නඟමින් විරෝධතාවාදීන් පෙළපාලියේ ගමන් ගත් බව වාර්තා වෙයි.

කැටලෝනියානු නිදහස තීන්දු කෙරෙනු ජනමත විචාරණයේ ඡන්දදායක සහභාගිත්වය 43% ක් පමණි.

එහෙත් එම ඡන්දදායකයන්ගෙන් 92% ක් ස්පාඤ්ඤයෙන් වෙන් වීමට පක්ෂව ඡන්දය දුන් බව කැටලෝනියාවේ නිලධාරීහු පවසති.

Image caption අපට ඕන නිදහස් කැටලෝනියාවක් - නිදහස වෙනුවෙන් ගායනයක්

ඡන්දය නොදුන් ජනයාගෙන් වැඩි දෙනා එම ජනමත විචාරණයේ නීත්‍යනුකූල භාවය ප්‍රශ්න කරන බවත් වාර්තා වෙයි.

කැටලෝනියාව තුළ මතු වූ අර්බුදයත් සමඟ එම පළාතේ ව්‍යාපාරික කටයුතුවල නිරත වූ සිය ගණනක් සමාගම් ඔවුන්ගේ මූලස්ථාන වෙනත් ප්‍රදේශ කරා ගෙන ගිය අතර එවැනි පියවර නොගන්නා ලෙස ස්පාඤ්ඤ අගමැතිවරයා ඉල්ලීමක් කරයි.

එසේම කැටලෝනියානු නිෂ්පාදන නොකඩවා මිලට ගන්නා මෙන් අගමැතිවරයා ස්පාඤ්ඤ මහජනයාගෙන් ඉල්ලා සිටියේය.

රටින් බැහැරව සිටින කැටලෝනියානු නායක කාලෙස් පුයිජ්මොන්ට් සහ සිරගත කර සිටින ඇමතිවරුන් සියලු දෙනාත් දෙසැම්බර් 21 මැතිවරණයට තරඟ කරන බව එම ප්‍රාන්තයේ වාමාංශික දේශපාලන ව්‍යාපාරයක් වන ERC පක්ෂය පවසයි.

එම පක්ෂය කාලෙස් පුයිජ්මොන්ට් වෙනුවෙන් සහයෝගය පළ කරයි.

Image copyright Reuters
Image caption සෙනසුරාදා විරෝධතාවාදීන් නිදහස වෙනුවෙන් ජංගම දුරකථන මගින් ආලෝකය දල්වමින්

කැටලෝනියාවේ පුවත්පතක් (La Vanguardia ) මගින් මෑතදී පැවැත්වුන මහජන මත විමසුමක් අනුව දෙසැම්බර් 21 මැතිවරණයෙන් ERC පක්ෂය වැඩිම ඡන්ද ප්‍රමාණය ලබනු ඇත.

මෙයින් වසර දෙකකට පෙර පැවැත්වුන කැටලෝනියානු ප්‍රාන්ත මැතිවරණයේ දී ස්පාඤ්ඤ අගමැති මරියානෝ රයෝයි නායකත්වය දෙන මහජන පක්ෂයට ලැබුණේ 8.5% ක ඡන්ද ප්‍රමාණයක් පමණි.

මේ අතර බාසිලෝනා නගරාධිපතිනි Ada Colau විසින් කැටලෝනියානු නිදහස් ව්‍යාපාරයේ නායකයන් හෙළා දැකීමත් සමඟ ප්‍රශ්නය නව මුහුණුවරක් ගනු ලැබ ඇත.

නගරාධිපතිවරිය නියෝජනය කරන දේශපාලන පක්ෂය කැටලෝනියානු පාර්ලිමේන්තු මැතිවරණය සඳහා මෙවර පළමු වරට තරඟ වදින අතර 'ප්‍රාන්ත නිදහස් ව්‍යාපාරයේ නායකයන් ඔවුන්ගේ උවමනා සඳහා මහජනතාව රවටා" ඇතැයි ඇය පවසන්නීය.

Image copyright AFP
Image caption ස්පාඤ්ඤ අගමැතිවරයාට එරෙහි විරෝධතා පුවරුවක්

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 155 වගන්තිය ප්‍රකාර කැටලෝනියාව ස්පාඤ්ඤ මධ්‍යම ආණ්ඩුවේ ඍජු පාලනය යටතට පවරා ගැනීමට පක්ෂව බාසිලෝනා සමාජවාදී පක්ෂය සහයෝගය දීම සම්බන්ධයෙන් විරෝධය පළ කරමින් නගරාධිපතිවරියගේ දේශපාලන පක්ෂය ඡන්දය දීම නිසා සමාජවාදී පක්ෂය සමඟ ඇති කර ගෙන තිබුණ දේශපාලන සන්ධානයේ බිඳීමක් ද සිදු විය.

සබැඳි පුවත්;

කැටලෝනියා අර්බුදය: බාසිලෝනාවේ දැවැන්ත පෙළපාළි

කැටලෝනියා අර්බුදය: "යටතට ගත්තොත් නියෝග පිළි පදින්නේ නැහැ"

'කැටලෝනියා' කොහේද? මොනවද වෙන්නෙ?

"උසාවියට ගෙනයාම විසඳුම නොවෙයි"

මේ පුවතට සම්බන්ධ තවත් විස්තර