ඉරාන භූමිකම්පාව: මරණ සංඛ්‍යාව ඉහළට

  • 2017 නොවැම්බර් 14
Image copyright EPA

ඉරාන, ඉරාක දේශ සීමාවේ ඇති වූ ප්‍රබල භූමිකම්පාවට හසුව මරණයට පත් සංඛ්‍යාව 430 ඉක්මවා ඇත.

ඉරිදා (නොවැ 12) හටගත් භූ කම්පනය හේතුවෙන් තවත් 7,000 තුවාල ලබා ඇති අතර උන්හිටිතැන් අහිමි වූ විශාල පිරිසක් දැඩි ශීතල මැද එළිමහන් පෙදෙස්වල රැඳී සිටිති.

නිවාස සිය ගණනක් විනාශයට පත්ව භූමිකම්පාවෙන් දැඩි හානි සිදු වූ කර්මන්ෂා කඳුකර පළාත වෙත ආධාර සැපයීම සඳහා ඉරාන ආණ්ඩුව දුෂ්කර උත්සාහයක යෙදී සිටී.

එම පළාතේ වැසියෙක් බීබීසී වෙත අදහස් දක්වමින් කියා සිටියේ බලවත් පසු කම්පන ඇතිවීමත් සමග සිය නිවෙස් වෙත යාමට එහි වැසියන් බියක් දක්වන බවය.

මේ අතර කර්මන්ෂා පළාතේ පහළ යමින් පවතින උෂ්ණත්වය ජලය මිදෙන මට්ටමට ළඟා වී තිබේ.

එම පළාතේ දැඩි ලෙස අලාභහානි සිදු වූ කස්ර් එ-ෂිරින් නගරයේ වෙසෙන හතළිස් දෙහැවිරිදි අලී ගුලානි බීබීසී පර්සියන් සේවය වෙත අදහස් දක්වමින් කියා සිටියේ විපතට පත්වූවන් ලෑලි පෙට්ටි පුළුස්සමින් උණුසුම්ව සිටීමට උත්සාහ කරන බවය.

"අපි කූඩාරමක ඉන්නේ. අපිට ඇති අතරම් ආහාර සහ ජලය නැහැ" යනුවෙන් ඔහු පැවසීය.

"දරුවන් අඬනවා ඇහෙනවා. හොඳටම සීතලයි. උණුසුම් වෙන්න දරුවන් දෙමව්පියන්ගේ තුරුලට වෙලා ඉන්නවා. හරිම නරක තත්ත්වයක්"

ඉරිදා ඇති වූ භූමිකම්පාව මැග්නිටියුඩ් 7.3 ලෙස සටහන් වූ අතර එතැන් සිට එම කලාපය තුළ පසු කම්පන 200 පමණ ගටගෙන තිබේ.

මෙම භූමිකම්පාව මේ වසරේ ඇති වූ ප්‍රබලතම භූ කම්පන අතරින් එකකි. එමෙන්ම මේ වසරේ වැඩිම පිරිසක් මරණයට පත් වූ භූමිකම්පාව ද මෙයයි.

ඔබේ දුරකථනයේ හෝ පරිගණකයේ මෙය වාදනය කිරීමට අදාළ මෘදුකාංග නැත
"එකපාරටම අපේ ගොඩනැගිල්ල නටන්න පටන් ගත්තා"

කර්මන්ෂා පළාත ඇතුළත ආධාර බෙදා හැර ඇතැයි දැන ගැනීමට ඇතත් සිය නගරයේ වැසියන් වෙත මෙතෙක් උපකාර ලැබී නොමැති බව අලී ගුලානි වැඩිදුරටත් කියා සිටියේය.

ඉරාන රජයේ රූපවාහිනිය නිවේදනය කළේ භූමිකම්පාවෙන් දිවි බේරාගත් දහස් ගණනක් දෙවෙන දිනටත් කූඩාරම් හෝ එළිමහනේ රැය පහන් කළ බවය.

හැත්තෑ දහසකට නවාතැන් පහසුකම් අවශ්‍ය කර තිබෙන බව එක් ආධාර සංවිධානයක් කියා සිටි අතර "අවශ්‍ය නම් උපකාර කිරීමට සූදානම්" බව එක්සත් ජාතීන්ගේ සංවිධානය නිවේදනය කර තිබේ.

ඉරාන ආණ්ඩුව විසින් අඟහරුවාදා (නොවැ 14) ජාතික ශෝක දිනයක් ලෙස නම් කරනු ලැබ ඇත.

මේ අතර භූමිකම්පාව හේතුවෙන් ඉරාකයේ නව දෙනෙකු මරණයට පත්ව තිබේ.

කුවේටය, ඊශ්‍රායලය සහ තුර්කිය තරම් දුරකට කම්පනය දැනී ඇත.

ඔබ වාසය කරන්නේ භූමිකම්පාව හටගත් ප්‍රදේශයේ ද? නොඑසේනම් භූමිකම්පාවට මුහුණ දුන් පුද්ගලයන් ගැන ඔබ තොරතුරු දන්නවා ද?

අප අමතන්න :

+44 (0) 20 36144039

+ 44 (0)20 36140556

+ 44 (0)20 36140555

+ 44 (0)20 36140554

+ 44(0) 20 36140551

+ 44(0) 20 36140552

Facebook (ෆේස්බුක්) : පිවිසෙන්න

සබැඳි විෂයයන්