රෝහින්ග්‍යාවරුන්ට එරෙහිව "හමුදාව කිසිදු අපරාධයක් කළේ නෑ"

  • 2017 නොවැම්බර් 14
Image copyright AFP/ GETTY IMAGES

රෝහින්ග්‍යා ජනතාව සම්බන්ධ අර්බුදයේදී ක්‍රියා කළ ආකාරය සම්බන්ධයෙන් හමුදාවට එරෙහිව එල්ල වූ චෝදනා පිළිබඳව පවත්වන ලද පරීක්ෂණයක නිගමනය මියනමාර හමුදාව විසින් ප්‍රකාශයට පත්කරනු ලැබ තිබේ.

ඒ අනුව හමුදාව කිසිදු වරදක් නොකළ බව එම පරීක්ෂණයේ නිගමනය වී තිබේ.

රෝහින්ග්‍යා ජනතාව ඝාතනය කිරීම, ඔවුන්ගේ ගම්මාන ගිණි තබා විනාශ කිරීම, කාන්තාවන් සහ දැරියන් දූෂණය කිරීම සහ රෝහින්ග්‍යා ජනතාවගේ දේපොළ කොල්ලකෑම යන සියලු චෝදනා මියන්මාර හමුදාව ප්‍රතික්ෂේප කරයි.

හමුදාවේ එම නිගමනය, "වාර්ගික ශුද්ධයක් පිළිබඳ හොඳම උදාහරණයක්" යනුවෙන් එක්සත් ජාතීන්ගේ සංවිධානය විග්‍රහ කරන මියන්මාරයේ රෝහින්ග්‍යා ජනතාව මුහුණ දෙමින් සිටින අර්බුදය පිළිබඳව බීබීසී වාර්තාකරුවන්ට දැකගැනීමට හැකි වූ වාතාවරණය සමග නොගැලපේ.

එම පරීක්ෂණය හමුදාවට එරෙහි චෝදනා සම්බන්ධයෙන් "සුදු හුණු ගෑමේ" උත්සාහයක් බව ඇම්නස්ටි ඉන්ටර්නැෂනල් ජාත්‍යන්තර මානව හිමිකම් සංවිධානය පවසයි.

රඛයින් කළාපයේ නිරීක්ෂණ චාරිකාවක නිරත වීම සඳහා එක්සත් ජාතීන්ගේ නිරීක්ෂකයන්ට අවසර දෙන මෙන් ද ඇම්නස්ටි ජාත්‍යන්තරය මියන්මාර බලධාරීන්ගෙන් ඉල්ලීමක් කරයි.

ඔබේ දුරකථනයේ හෝ පරිගණකයේ මෙය වාදනය කිරීමට අදාළ මෘදුකාංග නැත
"රෝහින්ග්‍යා" සහ "රෝහින්ජා" ගැන මේ කරුණු දැන සිටියාද?

සබැඳි යොමු:

මාධ්‍යවේදීන්ට කළාපයට ඇතුළු වීම දැඩිව සීමා කර තිබෙන නමුත් සන්ද්ධ පොලිස් නිලධාරීන් බලා සිටියදී ප්‍රදේශයේ බෞද්ධ කැරලිකරුවන් රෝහින්ග්‍යා ගම්මානයකට ගිණි තබන ආකාරය දැඩි සීමා යටතේ පසුගියදා එහි සංචාරයක නිරත වූ අග්නිදිග ආසියාව සම්බන්ධ බීබීසී වාර්තාකරු ජොනතන් හෙඩ්ට දැකගැනීමට ලැබිණ.

රටක් අහිමි රෝහින්ග්‍යා වැසියන් පන් ලක්ෂයකට අධික පිරිසක් පසුගිය අගෝස්තු මාසයේ සිට මියන්මාරයෙන් පලා ගොස් අසල්වැසි බංග්ලාදේශයේ රැකවරණ පතා සිටිති.

ප්‍රධාන වශයෙන්ම ඉස්ලාම් භක්තිකයන් වන ඔවුන් බෞද්ධයන් බහුතරයක් සහිත මියන්මාරයෙන් පලා යාම ආරම්භ කළේ රෝහින්ග්‍යා කැරලිකරුවන් පොලිසිවලට එල්ල කළ ප්‍රහාරවලට ප්‍රතිචාර වශයෙන් මියන්මාර හමුදාව මෙහෙයුමක් දියත් කිරීමෙන් අනතුරුවය.

එසේ බංග්ලාදේශයට පලා ගිය ඇතැම් රෝහින්ග්‍යා වැසියන්ගේ ශරීරවල වෙඩි වැදුණු තුවාල පවා දක්නට ලැබිණ. ප්‍රදේශයේ බෞද්ධයන්ගේ සහාය ද සහිතව මියන්මාර හමුදාව සිය ගම්මානවලට ගිණි තබමින්, රෝහින්ග්‍යා ජනතාව මරා දමන බව ඒ අතරින් බොහෝ දෙනා පැවසූහ.

එහෙත් ඵස්බුක් ඔස්සේ සිය පරීක්ෂණයේ නිගමනය ප්‍රකාශයට පත් කළ මියන්මාර හමුදාව පවසන්නේ හමුදාව කිසිදු වරදක් නොකළ බව ගම්වාසීන් දහස් ගණනක් තමන්ට පැවසූ බවය.

හමුදාව,

  • "අහිංසක වැසියන්ට" වෙඩි නොතැබූ බව
  • "කාන්තාවන් දූෂණය සහ ඔවුන්ට ලිංගික අතවර" නොකළ බව
  • "ගම්වැසියන් අත්අඩංගුවට ගැනීම, පහරදීම හෝ මරා දැමීම" නොකළ බව
  • ගම්වැසියන්ට අයත් රත්රන්, වාහන හෝ සතුන් ඇතුළු කිසිවක් සොරකම් නොකළ බව
  • මුස්ලිම් පල්ලිවලට වෙඩි නොතැබූ බව
  • ගම්වැසියන්ට "තර්ජනය හෝ එළවා නොදැමූ" බව
  • නිවාසවලට ගිණි නොතැබූ බව

එම ගම්වැසියන් ද අනුමත කළේ යයි ද හමුදාව නිකුත් කළ නිවේදනය වැඩිදුරටත් සඳහන් වේ.

මේ පුවතට සම්බන්ධ තවත් විස්තර