ග්‍රේස් මුගාබේ ගැන තොරතුරක් නැහැ

  • 2017 නොවැම්බර් 16
Image caption රොබට් මුගාබේ සහ ග්‍රේස් මුගාබේ

දැනට නිවාස සිර අඩස්සියේ තබා සිටින අනූ තුන් හැවිරිදි ජනාධිපති රොබට් මුගාබේ සහ රටේ පාලන බලය පවරා ගත් යුද හමුදාවේ අණදෙන නිලධාරීන් මුණ ගැසීම සඳහා දකුණු අප්‍රිකාවේ ආරක්ෂක කටයුතු භාර ඇමතිවරුන් 'හරාරේ' අගනුවරට ළඟා වනු ඇතැයි බලාපොරොත්තු වෙන බව සිම්බාබ්වේ වාර්තා මගින් පැවසෙයි.

දකුණු අප්‍රිකානු කලාපීය සංවර්ධන ප්‍රජාව (SADC) මේ අතර අසල්වැසි බොට්ස්වානාහි රැස්ව සිම්බාබ්වේහි දැනට උද්ගතව පවතින ප්‍රශ්නය පිළිබඳව සාකච්ඡා කරමින් සිටිති.

රොබට් මුගාබේගේ බිරිඳ වන ග්‍රේස් මුගාබේ ජනාධිපති පදවියට ගෙන ඒමේ සැලැස්මක් පිළිබඳව අදහස් පැතිර යමින් තිබියදී සිම්බාබ්වේ යුද හමුදාව බදාදා (නොවැම්බර් 15) ජනාධිපතිවරයා නිවාස සිර අඩස්සියේ තබමින් අන්තර්වාර පාලනයක් පිහිටුවීම සඳහා පියවර ගනිමින් ඇත.

රොබට් මුගාබේ විසින් තනතුරෙන් පහ කරන ලද හිටපු ජනාධිපති එමර්සන් නන්ගග්වා (Emerson Mnangagwa) සිම්බාබ්වේ අන්තර්වාර ජනාධිපතිවරයා හැටියට පත්කරනු ලැබීමට ඉඩකඩ ඇති බව බොහෝ විශ්ලේෂකයන්ගේ අදහසයි.

එහෙත් පිළිකා රෝගය සඳහා ප්‍රතිකාර ලැබීම සඳහා විදේශගතව සිටි විපක්ෂයේ ප්‍රජාතාන්ත්‍රික වෙනසක් සඳහා වන ව්‍යාපාරයේ (MDC-T) ) නායක මෝර්ගන් ස්වාන්ගිරායි, මේ අතර 'හරාරේ' නගරයට පැමිණීමත් සමඟ සිම්බාබ්වේ අර්බුදයට ඉක්මන් දේශපාලන විසඳුමක් ලබා ගැනීම අතින් අවිනිශ්චිත තත්වයක් මතුව ඇත.

Image copyright Getty Images
Image caption යුද හමුදාව හරාරේ අගනුවර ප්‍රමුඛ ස්ථාන අවට ස්ථානගත කර ඇත

රොබට් මුගාබේ රටේ පාලන බලයෙන් ඉවත් කර තැබීම සඳහා ඔහු එකඟ කර ගැනීමට කතෝලික පූජකවරයෙක් සම්බන්ධ වෙමින් සිටින බවක් ද වාර්තා වෙයි.

කෙසේ වුවද, සිම්බාබ්වේ ජනතාවගේ අවධානය යොමු වෙමින් පවතින්නේ රටේ බලය පවරා ගත් යුද හමුදාව විසින් ගනු ලබන ඊළඟ පියවර කුමක්ද? යන්න පිළිබඳවයි.

ග්‍රේස් මුගාබේ සිටින ස්ථානය කොතැනද යන්න තවමත් අපැහැදිලි අතර ඇය නැමීබියාවට පළා ගිය බව ඇතැම් වාර්තාවන්හි සඳහන් විය.

එහෙත් ඇය සිය භූමියේ නොමැති බව නැමීබියානු නිලධාරීහු පවසති.

තවමත් සිම්බාබ්වේ නීත්‍යානුකූල පාලකයා තමා යයි රොබට් මුගාබේ කියා සිටින බවක් ද වාර්තා වෙයි.

සිය නිල කාලය අවසන් වෙන තෙක් පදවියේ රැඳී සිටීම සඳහා තමාට අයිතිය ඇති බව මුගාබේ කියා සිටින බව එම වාර්තා මගින් පැවසෙයි.

රොබට් මුගාබේ නායකත්වය දුන් ෂානු-පීඑෆ් (Zanu-PF) පක්ෂයේ නියෝජිතයකු වන නික් මන්ග්වනා (Nick Mangwana) බීබීසියට ප්‍රකාශයක් කරමින්, ලබන දෙසැම්බර් මාසයේ පැවැත්වෙන පක්ෂ සමුළුවේ දී සිය ජාතික නායකයා හැටියට හිටපු ජනාධිපති එමර්සන් නන්ගග්වා (Emerson Mnangagwa) තෝරා පත්කර ගන්නා තෙක් මුගාබේට නාමික මට්ටමින් බලයේ රැඳී සිටිය හැකි යයි සඳහන් කළේය.

Image copyright AFP
Image caption ග්‍රේස් මුගාබේ සිටින තැනක් නිශ්චිතව දැන ගැනීමට නැත

මේ අතර දැනට සිටින ස්ථානයක් පිළිබඳව නිශ්චිත තොරතුරක් නොමැති ග්‍රේස් මුගාබේ සහ ඇය පිටුපස සිටින බලවේග විසින් එල්ල කෙරෙන තර්ජන මැඩලීමට යුද හමුදාව උත්සාහ දරමින් ඇති බවක් ද පැවසෙයි.

ග්‍රේස් මුගාබේගේ සගයකු වන ෂානු-පීඑෆ් (Zanu-PF) පක්ෂ සාමාජිකයෙක් 'යුද හමුදාව විසින් රටේ බලය පවරා ගනු ලැබීමට පෙර වාග් යුද්ධයක් දියත් කළ' බව පවසමින් සිම්බාබ්වේ යුද හමුදාපතිවරයා විවේචනය කර තිබුණ අතර අනතුරුව ඔහු රූපවාහිනිය ඉදිරියේ පෙනී සිටිමින් සිය ප්‍රකාශය සම්බන්ධයෙන් සමාව අයැද සිටි බවක් ද වාර්තා වෙයි.

ග්‍රේස් මුගාබේට සහාය දෙනු ලබන්නේ යයි සැක කෙරෙන "හතළිහේ පරපුර" නමින් පෙනී සිටින කණ්ඩායමක ජ්‍යෙෂ්ඨ සාමාජිකයන් ගණනාවක් අත්අඩංගුවට ගෙන රඳවා තබා ඇත.

පාලක ෂානු-පීඑෆ් පක්ෂයේ දේශපාලන අංශයේ නායකයා, උසස් අධ්‍යාපන ඇමතිවරයා සහ මුදල් ඇමතිවරයාත් ඔවුන් අතර සිටින බව පැවසෙයි.

සිම්බාබ්වේ විපක්ෂ නායක ටෙන්ඩායි බිටි (Tendai Biti) බීබීසියට ප්‍රකාශයක් කරමින් තම අභිලාෂය අන්තර්වාර පාලනයක් ස්ථාපිත කරනු ලැබීම යයි සඳහන් කළේය.

Image copyright AFP/GETTY
Image caption එමර්සන් නන්ගග්වා (Emerson Mnangagwa)

"යළි ප්‍රජාතන්ත්‍රවාදී සමාජයක් කරා අවතීර්ණ වීම අත්‍යවශ්‍ය උවමනාවක්. නීතිගරුක පාලනයක් කරා යළි ප්‍රවේශ විය යුතුයි. ඒ සඳහා සංක්‍රාන්තික කාලයක් අවශ්‍යයි. මම බලාපොරොත්තු තබනවා, සිම්බාබ්වේ ජනතාව සහ යුද හමුදාව අතර සංවාදයක් ආරම්භ කරන්න හැකි වේවි කියල" විපක්ෂ නායක ටෙන්ඩායි බිටි (Tendai Biti) පවසයි.

ප්‍රජාතාන්ත්‍රික වෙනසක් සඳහා වන ව්‍යාපාරයේ (MDC-T) ) නායක මෝර්ගන් ස්වාන්ගිරායි විසින් නායකත්වය දෙනු ලබන ජාතික ආණ්ඩුවක හවුල්කරුවකු වීමට තමා මනාප බව විපක්ෂ නායකයා රොයිටර් පුවත් සේවයට ප්‍රකාශ කළේය.

මෙම අර්බුදකාරී මොහොතේ අප්‍රිකානු හවුලටත් (AU) තීරණාත්මක මැදිහත් වීමක් සිදු කළ හැකි බව විපක්ෂ නායකයාගේ අදහසයි.

සබැඳි පුවත්;

මේ පුවතට සම්බන්ධ තවත් විස්තර