රෝහින්ග්‍යා අනාථයන් භාර ගැනීමට මියන්මාරය එකඟ වෙයි

  • 2017 නොවැම්බර් 23
Image copyright AFP/GETTY
Image caption රෝහින්ග්‍යා අනාථයෙක්

'රකයින්' ප්‍රාන්තයේ හමුදා ප්‍රහාර සමඟ අසල්වැසි බංග්ලාදේශයට පළා ගිය රෝහින්ග්‍යා අනාථයන් යළි සිය රට පැමිණවීම සඳහා මියන්මාරය සහ බංග්ලාදේශ් බලධාරීන් අතර ගිවිසුමක් ඇතිකර ගනු ලැබ ඇත.

එහෙත් එම ගිවිසුම ක්‍රියාවට නැංවීමට අදාළ කාල සීමාවක් හෝ ඊට ඇතුළත් සවිස්තරාත්මක තොරතුරු ප්‍රකාශයට පත්කොට නැත.

මියන්මාර් යුද හමුදාව පසුගිය අගෝස්තු මාසයේ 'රකයින්' පළාතේ එල්ල කළ ප්‍රහාර සමඟ බංග්ලාදේශයට පළා ගිය හය ලක්ෂයකට අධික රෝහින්ග්‍යා අනාථයෝ එහි ඉදි කෙරුණ තාවකාලික කඳවුරු තුළ ජීවත් වෙති.

එක්සත් ජාතීන්ගේ සංවිධානය සහ ඇමෙරිකා එක්සත් ජනපදය විසින් 'රකයින්' ප්‍රහාර "වාර්ගික ශුද්ධයක්" ලෙස විග්‍රහ කරනු ලැබ ඇත.

බංග්ලාදේශ් විදේශ අමාත්‍යාංශය විසින් නිකුත් කරන ලද නිවේදනයක් අනුව රකේන් පළාතේ අවතැන් ජනයා ඔවුන්ගේ මුල් පදිංචි ස්ථාන කරා පැමිණවීම මාස දෙකක කාලයක් ඇතුළත ආරම්භ කිරීමට හැකිවනු ඇත.

එහෙත් පළා ගිය රෝහින්ග්‍යා ජනයාගේ ආරක්ෂාව සහතික කරනු ලැබීමෙන් තොරව එම ජනතාව බලහත්කාරයෙන් ඔවුන්ගේ ගම්බිම් කරා යළි පැමිණවීම සම්බන්ධයෙන් ආධාර ආයතන මැසිවිලි පළ කරති.

Image caption ගිනිබත් කරන ලද රෝහින්ග්‍යා ගම්මානයක්

මියන්මාරයේ නේ පීටෝ (Nay Pyi Taw) අගනුවරදී අත්සන් තබන ලද ගිවිසුම ප්‍රකාර කටයුතු කරමින් සිටින බව දෙරටේ ආණ්ඩු සඳහන් කර ඇත.

බුරුමය ලෙසත් හඳුන්වනු ලබන මියන්මාරය රෝහින්ග්‍යා අනාථයන් සියරටේ පුරවැසියන් ලෙස සලකන්නේ නැති අතර ඔවුහු රටක් නොමැති ජන කොටසක තත්වයක පසුවෙති.

කෙසේවුවද, අත්සන් කරන ලද නව ගිවිසුමෙන් අනතුරුව ප්‍රකාශයක් කළ බංග්ලාදේශ් නිලධාරියකු වන මහමුද් අලි එම ගිවිසුම "පළමු පියවර" හැටියට විග්‍රහ කළේය.

"රෝහින්ග්‍යා ජනතාව හැකි ඉක්මනින් භාර ගන්නා" බව මියන්මාරයේ නිලධාරියකු වන මින්ට් ක්යායින් (Myint Kyaing) පවසයි.

ආපසු 'රකයින්' කරා යාම සම්බන්ධයෙන් බොහෝ රෝහින්ග්‍යා අනාථයන් භීතිය පළ කරන අතර, ඔවුන් ආපසු භාර ගැනීම සම්බන්ධයෙන් මියන්මාරය විසින් ඉදිරිපත් කරනු ලබන කොන්දේසි මොනවාද ? යන්න පැහැදිලි නැත.

එහෙත් එක් දෙයක් පැහැදිලිය . එනම් මියන්මාරය සහ බංග්ලාදේශය යන දෙරටම වෙනස් කරුණු පදනම් කර ගනිමින් මේ කාරණයේ දී යම්කිසි බලපෑමකට යටත්ව සිටීමයි.

රෝහින්ග්‍යා අනාථයන් සිය භූමියේ නිත්‍ය පදිංචිකරුවන් නොවන බව පෙන්වා දීම බංග්ලාදේශයේ උවමනාවයි.

අනිත් අතින් මේ ප්‍රශ්නය නිරාකරණය කර ගැනීම සඳහා වැඩිදුර ක්‍රියාමාර්ග ගන්නා මෙන් ඉදිරිපත් වෙමින් ඇති ජාත්‍යන්තර ඉල්ලීම් සම්බන්ධයෙන් ප්‍රතිචාරය දැක්වීමට මියන්මාරයට සිදුව ඇත.

Image caption මියන්මාර් හමුදා රකේන් ප්‍රහාර සම්බන්ධයෙන් එල්ල වෙන චෝදනා ප්‍රතික්ෂේප කරයි

විශේෂයෙන්ම එම ජාත්‍යන්තර බලපෑම එල්ල වෙමින් පවතින්නේ මියන්මාරයේ නිල නොවන නායිකා නොබෙල් සාම ත්‍යාගලාභිනී අවුන් සාං සුචි වෙතයි.

'රකේන්' මෙහෙයුම් සම්බන්ධයෙන් තමන් නිදොස් බව ඔවුන් විසින්ම සිදු කරන ලද විභාගයකින් අනතුරුව මියන්මාර යුද හමුදාව විසින් පසුගිය සතියේ නිකුත් කරන ප්‍රකාශනයක සඳහන් විය.

රෝහින්ග්‍යා ජන ඝාතන,ගම්බිම් ගිනිතබා විනාශ කර දැමීම , ගැහැණු ළමුන් සහ වැඩිහිටි කාන්තාවන් දූෂණය කිරීම සහ භාණ්ඩ පැහැර ගැනීම සම්බන්ධයෙන් එල්ල වෙන චෝදනා මියන්මාර් යුද හමුදාව විසින් ප්‍රතික්ෂේප කරනු ලැබ ඇත.

මේ අතර ෆ්‍රැන්සිස් පාප් වහන්සේ මෙම නොවැම්බර් 26 වෙනිදා මියන්මාරයට ලඟා වීමට නියමිතව ඇත.

එම සංචාරයේ දී පාප් වහන්සේ මියන්මාර් යුද හමුදාපති ජනරාල් මින් අවුන් හ්ලයින් (Gen Min Aung Hlaing) සහ අවුන් සාං සුචි මුණ ගැසෙනු ඇතැයි වතිකානය පවසයි.

අනතුරුව බංග්ලාදේශයේ ඩකා අගනුවරට යන පාප් වහන්සේ එහිදී රෝහින්ග්‍යා අනාථයන් මුණ ගැසෙනු ඇත.

Image copyright Reuters
Image caption සරණක් සොයා බංග්ලාදේශය කරා

සබැඳි පුවත්;