"උතුරු කොරියානු ධීවරයෝ" ජපාන වෙරළට පාවී එති

  • 2017 නොවැම්බර් 24
The men's boat was seen by a breakwater at Yurihonjo on Friday morning Image copyright Reuters

උතුරු කොරියානු ධීවරයන් ලෙසින් හඳුන්වා ගන්නා පුරුෂයන් අට දෙනෙකු රැගත් බෝට්ටුවක් ජපාන වෙරළට ලඟා වී තිබේ.

බ්‍රහස්පතින්දා රාත්‍රියේ යුරිහොන්ජෝ (Yurihonjo) නගරයේ වෙරළ තීරයේදී හමු වුනු එම පිරිස අත්අඩංගුවට ගන්නා ලද බව ජපාන පොලිසිය පවසයි.

මසුන් ඇල්ලීමේ නිරතව සිටියදී සිය බෝට්ටුවේ දෝෂයක් හටගැනීමෙන් අනතුරුව තමන් ජපාන වෙරළ දෙසට පාවී ආ බව ඔවුහු ජපාන බලධාරීන්ට පැවසූහ.

සිය මුහුදු සීමාවට ළඟාවන උතුරු කොරියානු ධීවර බෝට්ටු ජපානය නිරන්තරයෙන් අත්අඩංගුවට ගනු ලබන අතර, ඇතැම් අවස්ථාවල එවැනි ධීවරයන්බේරාගැනීමට ද ජපානයට සිදු වී තිබේ.

එහෙත් ඇතැම් අවස්ථාවල මළ සිරුරු සහිත බෝට්ටු ද ජපාන බලධාරීන්ට හමු වී තිබේ.

බ්‍රහස්පතින්දා රාත්‍රියේ අත්අඩංගුවට ගනු ලැබූ බෝට්ටුවේ සිටි පිරිසට තනිව ඇවිද යාමේ හැකියාව තිබුණු බව ජපාන බලධාරීහු පවසති. ඔවුන්ගෙන් වැඩිදුර කරුණු විමසීම පිණිස කොරියානු භාෂා පරිවර්තකයෙකුගේ සහාය ලබාගෙන තිබෙන බව NHK මාධ්‍ය ආයතනය වාර්තා කරයි.

ඔවුන් රහස් ඔත්තුකරුවන් හෝ දේශපාලනැ රැකවරණ පතන්නන් නොව ධීවරයන් පිරිසක් යයි මෙතෙක් හෙළි වී තිබෙන කරුණු අනුව විශ්වාස කරන බව ජපාන ආණ්ඩුව පවසයි.

ඔවුන් දැල්ලන් අල්ලමින් සිටි පිරිසක් බව ජපාන මාධ්‍ය වාර්තා කරන අතර, ඇතැම් මාධ්‍ය වාර්තාවල දැක්වෙන්නේ යළි උතුරු කොරියාව බලා යාමට සූදානම් යයි ඔවුන් පවසා තිබෙන බවය.

Image copyright Getty Images

දෙරට අතර පවතින දුර හේතුවෙන් උතුරු කොරියානුවන් ජපානයට පළා යාම නිරන්තරයෙන් වාර්තා වන සිදුවීමක් නොවේ. 2011 දී දකුණු කොරියාව බලා යාත්‍රා කිරීමට උත්සාහ කළ උතුරු කොරියානුවන් නම දෙනෙක් ජපානයට ලඟා වූහ.

'ප්යෝන්ග්යෑන්' පාලනයෙන් මිදී යුද විරහිත කලාපය ඔස්සේ පළා එමින් සිටියදී සිය පාර්ශ්වයේ දේශසීමා ආරක්ෂකයන් විසින් වෙඩි තැබීමෙන් තුවාල ලැබූ උතුරු කොරියානු සෙබලෙකු පිළිබඳව පසුගිය සතියේ වාර්තා විය.

එහිදී තුවාල ලද උතුරු කොරියානු සොල්දාදුවා ඉතාම බරපතළ මට්ටමින් ශරීරගත පරපෝෂිත පණුවන්ගෙන් පීඩා විඳින බව ඔහු ප්‍රතිකාර ලබන දකුණු කොරියානු රෝහලේ වෛද්‍යවරුන් විසින් සොයා ගනු ලැබ තිබේ.

සබැඳි යොමු: