දුගී රටක ඉදිවූ සුඛෝපභෝගී පාළු ගුවන්තොට

Image caption 'නකාලස්' ජාත්‍යන්තර ගුවන් තොටුපල විවෘත කර වසර 03 ගතව ඇතත් එහි මෙහෙයුම් සිදු කෙරෙන්නේ 4% තරම් අඩු ප්‍රමාණයකිනි

මොසැම්බික් රාජ්‍යයේ පිහිටි 'නකාලස්' ජාත්‍යන්තර ගුවන් තොටුපල සඳහා වැයකර ඇති මුදල ඇමරිකානු ඩොලර් මිලියන 200 කි.

එය, එරට දෙවන කාර්යබහුලතම ගුවන් තොටුපල වනු ඇති බවට බලාපොරොත්තු පළවිය.

වසරකට මගීන් 500,000 ක් ඉන් සේවය ලබා ගනු ඇතැයි ඇස්තමේන්තු කර තිබිණි.

'නකාලස්' ජාත්‍යන්තර ගුවන් තොටුපල විවෘත කර වසර 03 ගතව ඇතත් එහි මෙහෙයුම් සිදු කෙරෙන්නේ 4% තරම් අඩු ප්‍රමාණයකිනි.

එම ව්‍යාපෘතියේ ඉදිකිරීම් සිදු කළ 'Odebrecht' නමැති බ්‍රසීල සමාගම ඉහළ බලධාරීන් වෙත අල්ලස් ලබා දුන් බව පිළිගෙන ඇත.

ඔබේ දුරකථනයේ හෝ පරිගණකයේ මෙය වාදනය කිරීමට අදාළ මෘදුකාංග නැත
දුගී රටක ඉදිවූ සුඛෝපභෝගී පාළු ගුවන්තොට

එමෙන්ම මොසැම්බික් රාජ්‍යය සහ බ්‍රසීලය මුහුණ දුන් ආර්ථික අර්බුදය ද ගුවන් තොටුපල වෙත අයහපත් බලපෑමක් එල්ල කර තිබේ.

ආර්ථික දුෂ්කරතා ඇති රටක මෙවැනි අති විශාල මුදලක් වැය කර ගුවන් තොටුපලක් ඉදි කළේ ඇයි දැයි යන්න බොහෝ දෙනෙක් ප්‍රශ්න කරති.

අති විශාල මුදලක් වැය කර බලාපොරොත්තු වූ ප්‍රතිලාභ ලබාගත නොහැකි වූ තවත් ගුවන් තොටුපලවල ව්‍යාපෘති පිළිබඳ මෑත කාලයේ වාර්තා පළ විය.

ශ්‍රී ලංකාව, සෙන්ට් හෙලේනා සහ ස්පාඤ්ඤය

Image copyright PA
Image caption සෙන්ට් හෙලීනාහි අලුතින් ඉදි කළ ගුවන් තොටුපල 2016 වසරේ විවෘත කිරීමට නියමිතව තිබුණ ද තද සුළං හමුවේ පවතින අවදානම් සහගත තත්ත්වය හේතුවෙන් එය ප්‍රමාද විය

බ්‍රිතාන්‍ය යටතේ පවතින සෙන්ට් හෙලෙනා දූපතේ ඉදි කරන ලද ගුවන් තොටුපල බ්‍රිතාන්‍ය මාධ්‍ය විසින් හඳුන්වනු ලැබුවේ "ලොව ප්‍රයෝජනයක් නොමැතිම ගුවන් තොටුපල" ලෙසය.

ඇමරිකානු ඩොලර් මිලියන 380 වියදමින් ඉදි කරන ලද ගුවන් තොටුපල 2016 වසරේ විවෘත කිරීමට නියමිතව තිබුණ ද තද සුළං හමුවේ පවතින අවදානම් සහගත තත්ත්වය හේතුවෙන් එය ප්‍රමාද විය.

කෙසේ නමුත් අවසානයේ ජොහැන්ස්බර්ග් සහ සෙන්ට් හෙලෙනා අතර ගුවන් ගමන් සඳහා පසුගිය ඔක්තෝම්බර් මාසයේ දී අවසර හිමි වූයේ මාස කිහිපයක් පුරා පැවති පරීක්ෂණ ගුවන් ගමන් ගණනාවකින් අනතුරුවය.

Image copyright Getty Images
Image caption මත්තල රාජපක්ෂ ජාත්‍යන්තර ගුවන් තොටුපල වෙත ගුවන් යානා පැමිණෙන්නේ ඉතාමත් අඩු වශයෙනි

එමෙන්ම චීන ආධාර ඇතිව ශ්‍රී ලංකාවේ ඉදි කළ දෙවන ජාත්‍යන්තර ගුවන් තොටුපල වන මත්තල රාජපක්ෂ ජාත්‍යන්තර ගුවන් තොටුපල තුළ ද මෙහෙයුම් සිදුවන්නේ ඉතාමත් අඩු වශයෙනි.

2013 වසරේ විවෘත කරන ලද මත්තල ගුවන් තොටුපල සඳහා වැය කරන ලද මුදල ඇමරිකානු ඩොලර් මිලියන 240 කි.

2016 වසරේ දී වී ගබඩා කිරීම සඳහා ද මත්තල ගුවන් තොටුපලට අයත් ගොඩනැගිලි යොදා ගැනිණි.

මත්තල ගුවන් තොටුපොල දීර්ඝකාලීන බදු පදනම යටතේ ඉන්දියාවට ලබාදීමට එරෙහිව පසුගියදා උද්ඝෝෂණ ද පැවැත්විණි.

Image caption මධ්‍යම ස්පාඤ්ඤයේ වෙන්දේසි කරන ලද ගුවන් තොටුපල

මේ අතර බංකොලොත් වීම හේතුවෙන් වෙන්දේසි කළ ගුවන් තොටුපලක් පිළිබඳ 2015 වසරේ දී ස්පාඤ්ඤයෙන් අසන්නට ලැබිණි.

මධ්‍යම ස්පාඤ්ඤයේ පිහිටි එම ගුවන් තොටුපල සඳහා ලැබී තිබුණු වැඩිම ලංසුව යුරෝ දසදහසකි.

එය, ඒ සඳහා වැය කළ මුදල මෙන් ලක්ෂ ගුණයකින් අඩු අගයකි.

සමාන පුවත්: