'යළි පණ ලැබූ' බිලිඳා මිය යයි

  • 2017 දෙසැම්බර් 7
Image copyright AFP

නියමිත දිනට කලින් උපත ලැබූ අවස්ථාවේ මිය ගියේ යයි ඉන්දියාවේ දිල්ලි අගනුවර රෝහලක වෛද්‍යවරුන් විසින් වැරදි ලෙස නිගමනය කරන ලද බිලිඳා වෙනත් රෝහලකදී මිය ගොස් තිබේ.

එම බිලිඳාගේ නිවුන් සොහොයුරා නොවැම්බර් 30 වෙනි දින දරු ප්‍රසූතියේදීම මිය ගිය අතර, දෙවෙනි නිවුන් දරුවා ද උපත ලබා පැය කිහිපයක් ඇතුළත මිය ගිය බව 'මැක්ස්' පෞද්ගලික රෝහලේ වෛද්‍යවරු නිගමනය කළහ.

අවමංගල්‍ය උත්සවය සඳහා බිලිඳා රැගෙන යන අතරවාරයේ දරුවා ජීවතුන් අතර සිටින බව දෙමාපියන්ට දැකගැනීමට හැකි වී තිබේ.

දරුවා බහාලූ බෑගය සෙලවෙන බව දැක කම්පනයට පත් වූ දෙමාපියන් වහාම දරුවා අසල රෝහලක් වෙත රැගෙන ගිය බව දරුවාගේ මුත්තණුවන් උපුටා දක්වමින් ප්‍රදේශයේ මාධ්‍ය වාර්තාකර තිබිණ. එහිදී දරුවා මිය ගොස් නැති බව දෙමාපියන්ට දැනුම් දී තිබිණ.

මේ සිදුවීමත් සමගම ඉතා ඉහළ මුදලක් වැය කිරීමට සිදු වන ඉන්දියාවේ පෞද්ගලික සෞඛ්‍ය සේවයේ ප්‍රමිතිය පිළිබඳව යළිත් වරක් සංවාදයක් මතු වී තිබේ.

සිය දරුවා ජීවතුන් අතර සිටියදීම 'මිය ගිය' බවට නිගමනය කළ මැක්ස් රෝහලේ වෛද්‍යවරුන් දෙදෙනා අත්අඩංගුවට ගන්නා තුරු දෙවෙනි දරුවාගේ දේහය නිවසට රැගෙන නොයන බව දරුවන්ගේ පියා වාර්තාකරුවන්ට පවසා තිබේ.

මූලික පරීක්ෂණවලින් අනතුරුව පසුගිය ඉරිදා වෛද්‍යවරුන් දෙදෙනාගේ වැඩ තහනම් කෙරුණු අතර, දෙවෙනි බිලිඳාත් මිය ගිය බව වාර්තා වීමෙන් අනතුරුව මැක්ස් රෝහල දෙමාපියන් වෙත සිය ශෝකය පළ කොට තිබේ.

ඉන්දීය ආණ්ඩුව ද සිදුවීම සම්බන්ධයෙන් වෙනම පරීක්ෂණයක් පවත්වමින් සිටී.

සිදුවීමට හේතුව වෛද්‍යවරුන්ගේ නොසලකා හැරීම බව පරීක්ෂණයේ දී නිගමනය කෙරුණහොත් රෝහලේ බලපත්‍රය අවලංගු කිරීමට ඉඩ තිබෙන බව දිල්ලි ප්‍රාන්ත ආණ්ඩුවේ සෞඛ්‍ය ඇමතිවරයා පැවසීය.

මෙය, සිය රාජකාරිය නිසි පරිදි ඉටු නොකිරීම සම්බන්ධයෙන් මෑත මාසය කිහිපය තුළ ඉන්දියාවේ පුද්ගලික රෝහලකට චෝදනා එල්ල වූ දෙවෙනි අවස්ථාවය. ඩෙංගු රෝගය වැළඳුනු දැරියක වෙනත් රෝහලකදී පසුගිය මාසයේ මිය ගිය නමුත්, සිය දියණියට ප්‍රතිකාර කිරීම පිණිස අති විශාල මුදලක් තමන්ගෙන් අයකර ගත් බව දැරියගේ දෙමාපියෝ මීට ඉහතදී පැවසූහ.

සබැඳි විෂයයන්

මේ පුවතට සම්බන්ධ තවත් විස්තර