කෘෂි අංශයේ වර්ධන වේගය සෘණ 1.2% ක් දක්වා පහත වැටිලා - අගමැති

වී වගාව Image copyright Getty Images

මේ වසරේ ශ්‍රී ලංකාවට බලපෑ නියඟය හා ගංවතුර හේතුවෙන් රටේ කෘෂි අංශයේ වර්ධන වේගය සෘණ 1.2% ක් දක්වා පහත වැටී ඇති බව අගමැති රනිල් වික්‍රමසිංහ පවසයි.

අගමැතිවරයා ඒ බව සඳහන් කළේ අයහපත් කාලගුණ තත්ත්වයන් හේතුවෙන් රටේ ආර්ථිකයට සහ කෘෂි කර්මාන්තයට ඇති වී තිබෙන බලපෑම පිළිබඳව පාර්ලිමේන්තුවේ දී විශේෂ ප්‍රකාශයක් කරමිනි.

කෘෂි අංශයේ වර්ධන වේගය සෘණ අගයක් ගැනීම හේතුවෙන් ශ්‍රී ලංකාව 2017 වසරේ බලාපොරොත්තුවූ ආර්ථික වර්ධන වේගයට ළඟාවීම නොහැකි වූ බවත් අගමැතිවරයා සඳහන් කළේය.

"මේ වසරේ අපි 5.5% ක ආර්ථික වර්ධනයක් අපේක්ෂා කළා. නමුත් නියඟය හා ගංවතුර නිසා මෙය 4.5% දක්වා අඩු වන බව මහ බැංකුව වාර්තා කරලා තිබෙනවා. අපේ රටේ කෘෂි අංශයේ වර්ධන වේගය සෘණ සියයට 1.2 ක් බවට පත්වී තිබෙනවා."

Image copyright Getty Images

රටේ කෘෂිකර්මයට හා ආර්ථිකයටත් විශේෂයෙන්ම ගෘහස්ත ආර්ථිකයටත් දේශගුණික වෙනස්කම් ඉතා අහිතකර ලෙස බලපා තිබෙන බව පෙන්වාදුන් අගමැති රනිල් වික්‍රමසිංහ, ශ්‍රී ලංකාවේ දේශගුණික රටාව ක්‍රමයෙන් වෙනස් වෙමින් පවතින බව පසුගිය සමයේ පැවති කාලගුණික විපර්යාසයන් ප්‍රවේශමෙන් නිරීක්ෂණය කළ විට දක්නට ලැබෙන බවත් සඳහන් කළේය.

"දිගින් දිගටම පැවති අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් පසුගිය කාලය තුළම ගොවීන්ට තම වගා කටයුතු වල නිරතවීමට හැකියාවක් ලැබුනේ නැහැ. සමහර පළාත්වල කන්න තුන හතරක්ම වගා පාළුවට ගියා," අගමැතිවරයා පාර්ලිමේන්තුව හමුවේ පැවසීය.

"විශේෂයෙන්ම පසුගිය දිනවල පැවති නියං තත්ත්වය හේතුවෙන් පොල් ඵලදාව විශාල ලෙස පහත වැටුනා. සහල් නිෂ්පාදනය ද විශාල වශයෙන් අඩු වුනා. මෙම කාලය තුල එළවලු වගාවද 30% කින් පමණ අඩු වී තිබෙනවා."

ගොවීන් උඩරට හෙක්ටයාර් 14,798 කුත් පහතරට හෙක්ටයාර් 32,216 කුත් එළවලු වගා කරනු ඇතැයි කෘෂිකර්ම අමාත්‍යාංශය බලාපොරොත්තු පළකර තිබුණත් සැබවින්ම වගා කර තිබුනේ උඩරට හෙක්ටයාර් 10,712 ක් සහ පහතරට හෙක්ටයාර් 19,673 ක් පමණක් බව ඔහු පෙන්වා දුන්නේය.

ඔබේ දුරකථනයේ හෝ පරිගණකයේ මෙය වාදනය කිරීමට අදාළ මෘදුකාංග නැත
"පොල් හිඟයට ප්‍රධාන හේතුව නියඟය"

"කලක් තිස්සේ පැවති දේශගුණික රටාව මෙසේ වෙනස්වීම හේතුවෙන් අපගේ සාම්ප්‍රදායික කෘෂිකාර්මික රටාවන් වෙනස් වීමට භාජනය වුණා. තමන්ට ගොවිතැන සඳහා අවශ්‍ය ප්‍රාග්ධනය ගොවීන්ට තිබුනේ නැහැ. සාම්ප්‍රදායික ක්‍රම වලින් බැහැරව ගොවීන් විසින් තීරණ ගන්නට පෙළඹුණා. සමහරු වගා කිරීම අතහැර දැම්මා. සමහරු වගා ඉඩම් වෙනත් කාර්යයන් සඳහා යොදා ගත්තා. මෙහි ප්‍රතිඵලයක් වශයෙන් උඩරට ප්‍රදේශවල එළවළු වගා බිම් ප්‍රමාණය 36% කිනුත්, පහත රට එළවළු වගා බිම් ප්‍රමාණය 30% කිනුත් අඩු වී ඇති බව කෘෂිකර්ම දෙපාර්තමේන්තුව විටින් විට වාර්තා කර තිබෙනවා."

මෙය "නිදහසට කරුණු දැක්වීමක්" නොවන අතර වගකීම භාරගැනීමට ආණ්ඩුව සූදානම් නමුත් යතාර්ථය පැහැදිලි කිරීමක් පමණක් බව ද අගමැතිවරයා අවධාරණය කළේය.

මේ තත්වය යටතේ සහල් ආනයනය කිරීමට ශ්‍රී ලංකාවට සිදු වී තිබෙන අතර ලබන මහ කන්නය වනවිට සාමාන්‍ය අස්වැන්නක් බලාපොරොත්තු වෙන බවත් ඔහු පැවසීය.

ලබන වසරේ රටේ පොල් හිඟයක් ඇති බිය හැකි බවත් අගමැතිවරයා සඳහන් කළේය.

ඔබේ දුරකථනයේ හෝ පරිගණකයේ මෙය වාදනය කිරීමට අදාළ මෘදුකාංග නැත
සහල් මිල ගැන වෙළෙඳුන් සහ පාරිභෝගිකයන්

"මසකට පොල් ගෙඩි මිලියන හතලිහක් පමණ වන හිඟය පියවා ගෙන දේශීය ගෘහස්ථ පරිභෝජනය සඳහා ප්‍රමාණවත් පොල් සැපයුමක් තහවුරු කිරීමට පොල් ආශ්‍රිත කර්මාන්තකරුවන්ට පොල් මද ආනයනය කිරීමට අවසරය ලබා දීමටත් තීරණය කළා."

ලෝක බැංකුවේ සහ ආසියානු සංවර්ධන බැංකුවේ නියෝජිතයින් සමඟ මෙම දේශගුණික වෙනස්වීම් සැලකිල්ලට ගෙන ආර්ථිකය සම්බන්ධව ගත යුතු ඉදිරි ක්‍රියාමාර්ග සාකච්ඡා කිරීමට බලාපොරොත්තු වන බව පැවසූ මෙම තත්වයට මුහුණ දීම සඳහා අළුත් යාන්ත්‍රණයක් සැකසීමට සිදුවන බවයි කියා සිටියේ.

තවත් විස්තර: