දිග කලිසම් හැඳි සුඩාන කතුන්ට අසංවර වී යැයි චෝදනා

Sudan Image copyright Getty Images
Image caption වාර්ෂිකව කාන්තාවන් දස දහස් ගණනක් 'අසංවර ඇඳුම් ඇඟලීම' යන චෝදනාව යටතේ අත්අඩංගුවට ගනු ලබනවා

සුඩානයේ කාර්ටුම් අගනුවර ආසන්නයේ සාදයකට එක්වූ දිග කලිසම් හැඳි කාන්තාවන් විසිහතර දෙනෙකුට අසංවරවීම සම්බන්ධයෙන් චෝදනා ගොනු කර තිබේ.

පසුගිය බදාදා (දෙසැම්බර් 06) එරට සදාචාරය පිළිබඳ පොලිසිය විසින් එම සාදය වටලන ලදී.

චෝදනාවලට වරදකරුවන් වුවහොත් කස පහර 40 ට ලක්වීමට එම කාන්තාවන්ට සිදුවන අතර අසංවර ඇඳුම් ලෙස හැඳින්වෙන ඇඳුම් ඇඟලීම සම්බන්ධයෙන් දඩයකට ද යටත් කෙරෙනු ඇත.

වාර්ෂිකව කාන්තාවන් දස දහස් ගණනක් අත්අඩංගුවට ගැනෙන අතර අසංවරවීමට අදාළව කසපහර දීමට යටත් කෙරෙන බව අයිතිවාසිකම් වෙනුවෙන් පෙනීසිටින ක්‍රියාකාරීහු පවසති.එසේම එම නීති අත්තනෝමතික ලෙස ක්‍රියාවේ යොදවන බව ද ඔවුන් පෙන්වා දෙයි.

මුස්ලිම් බහුතරයක් සිටින සුඩානයේ දිගකලිසම් සහ කොට කලිසම් හෝ තද සාය හැඳීමට එරෙහි නීතිය ක්‍රිස්තියානි ජනතාව වෙනස්කොට සැලකීමක් බව ද ඔවුහු පෙන්වා දෙති.

සම්ප්‍රදායිකව සුඩානයේ කාන්තාවන් සැහැල්ලු දිගු ඇඳුම්වලින් සැරසේ.

නෙදර්ලන්තයේ සිට ක්‍රියාත්මකවන රේඩියෝ ඩබන්ගා වෙත අදහස් දැක්වූ හිමිකම් ක්‍රියාකාරිනියක වන අමිරා ඔස්මාන් පැවසුවේ මහජන සාමය පිළිබඳ ආඥා පනත මගින් කාන්තා අයිතිවාසිකම් උල්ලංඝණය වී ඇති බවය.

"සාදය පැවැත්වුනේ එල් මමුරා හි (කාර්ටුම් නගරයේ දකුණු දිග) වැසුණු ශාලාවකයි" ඇය පැවසුවාය.

"බලධාරීන්ගෙන් අවසරපත අරගෙන තිබෙද්දීත් ඒ තරුණියන් අත්අඩංගුවට ගත්තේ දිග කලිසම් හැඳීම නිසයි " ඇය තවදුරටත් කියා සිටියාය.

ආණ්ඩුවේ සේවක සේවිකාවන් සේවයට වාර්තා කිරීමේ දී සැරසිය යුතු ආකාරය පිළිබඳව උපදෙස් දෙමින් මීට මාස කිහිපයකට ඉහතදී උගන්ඩාවේ ආණ්ඩුව චක්‍රලේඛයක් නිකුත් කළේය.

විශේෂයෙන්ම කාන්තාවන් අත් නැති හැට්ට පැළඳීමෙන් හෝ පපු පෙදෙස අනාවරණය වන ඇඳුම්වලින් සැරසීමෙන් වැළකිය යුතු බව එම චක්‍රලේඛයට ඇතුළත් වූ විශේෂ නිර්දේශයකි.

කොට සායකින් සැරසී සේවයට වාර්තා කිරීම හේතුවෙන් උගන්ඩාවේ අධිකරණයක සේවය කරන ලිපිකාරිනියකගේ සේවය අත්හිටුවීමට ද බලධාරීහු කටයුතු කළහ.

මේ තොරතුරුද දැනගන්න:

රජයේ සේවිකාවන්ට කොට සාය 'තහනම්'

සෞදිය: කොට සායක් ඇඟලූ කත පොලිසියට