පැසිෆික් 'ළදරු දූපත' අඟහරු හඳුනාගැනීමට මගක්

ඔබේ දුරකථනයේ හෝ පරිගණකයේ මෙය වාදනය කිරීමට අදාළ මෘදුකාංග නැත
ලොව ළාබාල ම දූපත

පෘථිවියේ අලුත්ම භූමි උපත මෙය වන අතර අඟහරු ග්‍රහයා මත ජීවය පිළිබඳ සාක්‍ෂි සෙවිය යුත්තේ කොහිද යන්න සම්බන්ධයෙන් මෙය මග පෙන්වීමක් කරනු ඇතැයි විශ්වාස කෙරේ.

හුන්ගා ටොංගා හුන්ගා හාපයි යනුවෙන් දිව පැටලෙන සුලු නමක් යෙදී ඇති, යමහලකින් හටගත් මේ දූපත පැසිෆික් සාගරයෙන් මතුවුයේ 2015 වසරේදීය. සාගර තරංගවලට හසුවූ තැන සිට එහි හැඩය වෙනස්වීමට පටන් ගැනිණි.

මේ නිසා සෙමෙන් සිදුවන දූපතේ සේදී යාම විද්‍යාඥයින්ගේ ඉතා සමීප නිරීක්ෂණයට ලක්ව තිබේ.

රතු ග්‍රහයා (අඟහරු) මත ජලය ඇසුරින් බිහිවූ දූපත් රැසක මෙවැනි ම ආකාරයේ ශේෂයන් ඇති බව ඔවුහු සිතති.

එය සැබෑවක් නම්, එය සැබවින් ම සිත්ගන්නා සුලු ය. පෘථිවිය මත දී සමුදුරු යට යමහල් ක්‍රියාකාරීත්වය හමුවන ඕනෑම තැනක ක්ෂුද්‍ර ජීවයට රුකුල් දෙන තත්ත්වයන් නිතර හමුවේ.

හුන්ගා ටොංගා හුන්ගා හාපයි දූපත හටගැනීම හරහා පර්යේෂකයින් එය දකින්නේ අඟහරු ග්‍රහයාගේ පුර්ව ජලාශ්‍රිත පරිසරය හොඳින් අවබෝධ කරගත හැකි දර්ශකයක් සේම එහි සරල ජීවයක් ජනිත වීමට හිතකර විය හැකි තත්ත්ව පැවතියේද යන්න අවබෝධ කරගත හැකිවන බවය.

Image copyright NASA/JPL/U. ARIZONA
Image caption අඟහරු මත යමහල් අළුවලින් සැදි පාෂාණවලින් සමන්විත කේතු දුටු බව විද්‍යාඥයින් සිතයි

"රතු ග්‍රහයා මත පුරාතන ජලාශ්‍රිත තත්ත්ව, ගැඹුරු බව හා ආයුකාල පිළිබඳ ඉඟියක් මෙවැනි භූ නිමැවුම් හරහා අපට ලබාගත හැකියැයි සිතනවා." යැයි එක්සත් ජනපද අභ්‍යවකාශ ආයතනයේ (නාසා) ගොඩාර්ඩ් අභ්‍යවකාශ ගමන් මධ්‍යස්ථානයේ ප්‍රධාන විද්‍යාඥ ආචාර්ය ජිම් ගාර්වින් පැවසීය.

"ඒ අනුව, අඟහරු අවබෝධ කරගැනීම සඳහා අපව පුහුණු කිරීමට පෘථිවිය මත ඇති HTHH (හුන්ගා ටොංගා හුන්ගා හාපයි) අප යොදා ගන්නවා" යැයිද ඔහු කියා සිටියේය. ආචාර්ය ගාර්වින් හා ඔහුගේ සගයින් හුන්ගා ටොංගා හුන්ගා හාපයි දූපත ගැන ඔවුන් කළ අධ්‍යයනවල තොරතුරු, පෘථිවි හා ග්‍රහලෝක පිළිබඳ විද්‍යාඥයින්ගේ ලොව විශාලතම වාර්ෂික හමුව වන ඇමෙරිකානු භූ භෞතික සංගමය පවත්වන හමුවට ඉදිරිපත් කෙරේ.

මේ දුපත ගොඩ නැගුනේ නිරිතදිග පැසිෆික් සාගරයේ ටොංගා දුපත් සමුහය අතර සාගරයේ ගිලී ඇති කිලෝමීටර 1.3 ක උසින් යුතු හුන්ගා යමහලෙනි.

සමාන තොරතුරු:


පැසිෆික් සාගරයේ ළදරු දිවයින

Image caption ප්‍රංශ ප්ලේයඩීස් චන්ද්‍රිකාව මගින් ගන්නා ලද 2015 විදාරණයට පෙර හා පසු ඡායාරූප
  • හෙක්ටයාර 200ක බිම් ප්‍රදේශය හැඳින්වීමට විද්‍යාඥයෝ HTHH යන නම භාවිත කරති.
  • හුන්ගා ටොංගා සහ හුන්ගා හාපයි යන දූපත් අතරින් එය මතුවිය.
  • මේ භූ නිමැවුම් ත්‍රිත්වයම තිබෙන්නේ කිලෝමීටර 1.5ක උසින් යුතු ජලයේ ගිලී ඇති යමහලක් මතය.
  • සේදීයාම් පිළිබඳ ආකෘතිවලින් කියවන්නේ HTHH වසර හයේ සිට වසර 30ක් පමණවූ කාලයක් පවතිනු ඇති බවය.
Image caption දූපත පිළිබඳ චන්ද්‍රිකා ආශ්‍රිත රූ සටහනක් : 2015 අප්‍රේල් (වම) සහ 2017 සැප්තැම්බර් (දකුණ)

මේ නව භූ නිමැවුම දක්නට ලැබුනේ "සර්ට්සේයානු" විදාරණයකිනි. ඒ නම යෙදුනේ 1963 - 1967 අතර අයිස්ලන්තයට ඔබ්බෙන් උතුරු අත්ලාන්තික් සාගරයේ සර්ට්සේ නමින් හැඳින්වුණු දූපත ඊට බොහෝ සමාන වූ බැවිනි.

මෙවැනි අවස්ථාවලදී ශීත මුහුදු ජලය සමග උණුසුම් මැග්මා එක්වීමෙන් අළු සහ පාෂාණ කොටස් ප්‍රබලව පුපුරායයි.

මේ අනුව සාගර ජලය මතුපිට එක්රැස්වන කොටස් එකතුවී යමහල් අළුවලින් සැදි පාෂාණවලින් සමන්විත කේතුවක් සැකසේ. හුන්ගා ටොංගා හුන්ගා හාපයි (HTHH) සැලකීමේදී එය මීටර 100 වඩා වැඩි උසකින් යුතුවේ. එසේ වුවත් එය වැඩිකලක් පවතී යැයි විද්‍යාඥයෝ අපේක්ෂා නොකරති. සැඩ කුණාටු හේතුවෙන් කලකින් එය බිදී යනු ඇත.

කෙසේවෙතත්, ඊට දශක කිහිපයක් ගතවිය හැකි අතර වඩා සුපැහැදිලි චන්ද්‍රිකා රූප භාවිතයෙන් එහි සෑම පියවරක්ම නිරීක්ෂණය කිරීමට විද්‍යාඥයෝ අපේක්ෂා කරති. ඇත්තෙන්ම, නුතන අභ්‍යවකාශ යුගයේදී මේ ආකාරයෙන් විදාරණය වූ පළමු දූපත මෙය වන අතර ක්ෂණිකව අතුරුදහන්ව නොයන්නකි. HTHH හි මුල් අවදිය මෙන්ම එහි විකාශනය සම්බන්ධයෙන් පෙර නොවූ විරූ දැකීමක් කක්ෂයේ සිට විද්‍යාඥයින් වෙත ගෙන දේ.

"HTHH සමග කරන අධ්‍යයනයේදී අප අපේක්ෂා කරන එක් දෙයක්වන්නේ වෙනස් ගැඹුරු තත්ත්ව වලදී ජලය සමග සේදී යාමේ වේගයට සම්බන්ධ කිරීමයි." අචාර්ය ගාර්වින් බීබීසී සමග පැවසීය.

"මේ දූපත එය සේදී යාමේ චක්‍රය තුළ පවතින ආකාරය කාලානුරුපව ඡායාරුපගත කිරීමකට යොමු කරනවා. අඟහරු මත තත්ත්වය සෙවීම සඳහා එවිට එය අපට කිසියම් ක්‍රමාවලියක් සපයාවි. සමහරවිට එය අපට පෙන්වාවි එම ග්‍රහයාගේ සමහර තැන්වල ජල මට්ටම මීටර දහයේ ප්‍රමාණවල සිට මීටර සිය ගණනක ගැඹුර තිබු බව. ඒ වගේම මෙවැනිම සේදී යාමකට සරිලන කාලයක් තිබූ බව පෙන්වාවි." යැයි ඔහු සඳහන් කළේය.

Image copyright GP ORBASSANO

ජලය සහ කාලය ජීවය සඳහා අවශ්‍යම කරුණුය. ඒ වගේම එය ශක්ති ප්‍රභවයක් මෙන්ම පෝෂක ද සපයයි.

පෘථිවිය මත සමුද්‍රීය යමහල් විවරයකදී මේ සියලු තත්ත්ව හමුවේ. උණුසුම් පාෂාණ පැලුම් අතරින් ගලන ඛනිජවලින් පොහොසත් ජලය ආශ්‍රිතව ක්ෂුද්‍ර ජීවීන් ගොඩනැගේ. මෙවැනිම ආකාරයේ, අඟහරු ග්‍රහයාගේ අතීත ක්‍රියාකාරීත්වය පිළිබඳ සාක්ෂි විමසීම සඳහා විද්‍යාඥයින් චන්ද්‍රිකා යොමු කිරීම කෙරෙහි මෙය ද එක් හේතුවකි.

(බීබීසී විද්‍යා තොරතුරු වාර්තාකරු ජොනතන් ඇමෝස් සකස් කළ වාර්තාවක් ඇසුරිනි)

මේ පුවතට සම්බන්ධ තවත් විස්තර