සිරිල් රමෆෝසා අප්‍රිකානු ජාතික කොන්ග්‍රසයේ නායකත්වයට

Image copyright Reuters

දකුණු අප්‍රිකාවේ පාලක අප්‍රිකානු ජාතික කොන්ග්‍රසයේ නායකත්වය සඳහා පැවති තියුණු තරගයකින් අනතුරුව උප ජනාධිපති සිරිල් රමෆෝසා ජයග්‍රහණය කර තිබේ.

පක්ෂයේ නායකත්වයට පත්වීමත් සමග 2019 දී පැවැත්වෙන ජනපතිවරණයේදී සිරිල් රමෆෝසා ජනපති පදවියට තේරී පත්වනු ඇතැයි අපේක්ෂා කෙරේ.

හිටපු විදේශ ඇමැතිවරියක සහ ජනාධිපති ජේකබ් සූමාගේ හිටපු බිරිය ද වන න්කොසසානා ද්ලමිනි සූමා (Nkosazana Dlamini-Zuma) පක්ෂයේ නායකත්වය සඳහා උප ජනාධිපතිවරයා සමග තරග වැදී සිටියාය.

නායකත්වය සඳහා ඔවුන් දෙදෙනා අතර පැවති තියුණු තරගය හේතුවෙන් පක්ෂය දෙකඩ වීමට ඉඩ තිබෙන බවට ද අනතුරු ඇඟවීම් කෙරිණ.

නායකත්ව තරගය අතරවාරයේ රාජ්‍යයේ වංචා, දූෂණවලට එරෙහිව හඬ නැගූ 65 හැවිරිදි සිරිල් රමෆෝසාට (Cyril Ramaphosa) ව්‍යාපාරික ප්‍රජාවේ සහාය හිමිවිය.

මේ අතර සුදු ජාතික ව්‍යාපාරික ප්‍රජාවේ බලය දැඩි විවේචනයට ලක් කළ 68 හැවිරිදි ඔහුගේ ප්‍රතිවාදිනිය රට තුළ පවතින වාර්ගික අසමානතාව ලෙසින් ඇය විග්‍රහ කළ තත්වයට පිළියම් යොදන බවට ප්‍රතිඥා දුන්නාය.

Image copyright Reuters

නායකත්වය පිළිබඳව පැවති ඡන්ද විමසීමේදී උප ජනාධිපතිවරයාට පක්ෂව ඡන්ද 2,440 ක් ලැබුණු අතර ද්ලමිනි සූමාට පක්ෂය ඡන්ද 2,261ක් ලැබී තිබුණු බව පක්ෂයේ ප්‍රකාශකයෙක් නිවේදනය කළේය.

ප්‍රතිඵලය නිවේදනය කිරීමත් සමගම පක්ෂ ආධාරකරුවෝ ප්‍රීතිඝෝෂා නගමින් ප්‍රීතිය පළ කළහ.

පළමු ඡන්ද ගණන් කිරීම අවසානයේ යළිත් වරක් ඡන්ද ගණන් කරන මෙන් න්කොසසානා ද්ලමිනි සූමා ඉල්ලා සිටීම හේතුවෙන් ප්‍රතිඵලය නිකුත් කිරීම පමා වූ බව මාධ්‍ය වාර්තාවල දැක්විණ.

මහින්ද රාජපක්ෂ පාලනය සමයේ ශ්‍රී ලංකාව සම්බන්ධ ජනාධිපති සූමා ගේ විශේෂ නියෝජිතයා වශයෙන් නම් කෙරුණු සිරිල් රමෆෝසා, 2014 ජුලි මාසයේ ශ්‍රී ලංකාවේ සංචාරයක ද නිරත විය.

ශ්‍රී ලංකාවේ ජාතික ගැටලුවට විසඳුමක් සෙවීම සඳහා උපකාර කිරීම එම සංචාරයේ අරමුණ බව මාධ්‍ය වාර්තා කළ නමුත් ශ්‍රී ලංකා ආණ්ඩුව එය ප්‍රතික්ෂේප කළේය.

තවත් යොමු: