මගීන් දෙසිය පනස් එකක් රැගත් යාත්‍රාවක් පෙරලේ

Image copyright EVN

මගීන් දෙසිය පනස් එක් දෙනෙකු රැගෙන නැගෙනහිර පිලිපීන වෙරළට ඔබ්බෙන් යාත්‍රා කරමින් තිබූ මගී බෝට්ටුවක් පෙරලී ඇතැයි වෙරළාරක්ෂක හමුදාව පවසයි.

දරුණු රැල්ල හේතුවෙන් බෝට්ටුව පෙරලී ඇතැයි විශ්වාස කෙරෙන අතර ප්‍රදේශයේ බෝට්ටු මගින් මේ වනවිට කිහිප දෙනෙකු බේරාගෙන ඇතැයි වාර්තාවල දැක්වේ.

අනතුරට ලක් වූ පිරිස බේරාගැනීම සඳහා ප්‍රදේශය වෙත පිටත්කර යවනු ලැබූ බෝට්ටු සහ හෙලිකොප්ටර් යානාවලට අයහපත් කාලගුණය මගින් බාධා පැමිණ තිබේ.

ඉතා විශාල පිරිසකගේ ජීවිත ගලවාගැනීමට හැකිව තිබෙන නමුත් සිව් දෙනෙකුගේ මළ සිරුරු ද හමු වී ඇතැයි ප්‍රාදේශීය මාධ්‍ය වාර්තා කරයි.

කෙසේ වුවත්, අනතුරට ලක් වූ පිරිස පිළිබඳ සංඛ්‍යාලේඛන "තහවුරු කරගැනීමට" උත්සාහ කරමින් සිටින බව වෙරළාරක්ෂක හමුදාවේ ප්‍රකාශක ආර්මන්ඩ් බලීලෝ පැවසීය.

අයහපත් කාලගුණය අනතුරට ප්‍රධාන හේතුවක් යයි විශ්වාස කෙරෙන බව සඳහන් කළ ඔහු වැඩිදුරටත් කියා සිටියේ මගීන් 280 දෙනෙකු රැගෙන යාමට අදාළ බෝට්ටුවට හැකියාව තිබෙන බැවින් එහි ඕනෑවට වඩා මගීන් පිරී සිටියේ යයි විශ්වාස නොකෙරෙන බවය.

අනතුරට ලක් වූ බෝට්ටුවේ "විශාල සිදුරක් හෑරීම හේතුවෙන්" එය පෙරලී තිබෙන බව ප්‍රදේශයේ හදිසි සහන සේවා ප්‍රධානී හුවානිතෝ දියස් පවසයි.

පිලිපීනයේ නිරන්තරයෙන් කුණාටු හටගන්නා නමුත් මගී බෝට්ටු අනතුරට ලක්වීම සාමාන්‍ය සිදුවීමක් නොවේ.

සබැඳි විෂයයන්