'තියනෑන්මන්' චතුරශ්‍රයේ දී 'දස දහසක්' මරා දැමූ බව පැවසෙන අලුත් වාර්තාවක්

Image copyright Getty Images
Image caption 'තියනෑන්මන්' විරෝධතාවාදීන් යුද හමුදා රථයකට ගිනි තැබූ අවස්ථාවක්

ප්‍රජාතන්ත්‍රවාදය ඉල්ලා 1989 වසරේ 'තියනෑන්මන්' චතුරශ්‍රයේ උද්ඝෝෂණය කරමින් සිටි විරෝධතාවාදීන් මර්දනය කිරීමේ දී චීන හමුදා විසින් යටත් පිරිසෙයින් දස දහසක්වත් මරා දමා ඇතැයි එක්සත් රාජධානියෙහි නිකුත් කරනු ලැබ ඇති අලුත් ලේඛනයක් මගින් පෙන්වා දෙයි.

එම සංඛ්‍යා දැක්වෙන්නේ එවකට චීනයේ තානාපති ඇලන් ඩොනල්ඩ් විසින් එවැනි ලැබ ඇති රහස්‍ය රාජ්‍ය තාන්ත්‍රික පණිවුඩයකයි.

එකී තොරතුරු ලබා ගත් ප්‍රධාන මූලාශ්‍රය චීනයේ පාලක රාජ්‍ය මණ්ඩලයේ නියෝජිතයකුගේ මිතුරකු බවත් එහි දැක්වෙයි.

1989 වසරේ 'තියනෑන්මන්' චතුරශ්‍රයේ විරෝධතාවාදීන් මැඩලීමේදී මරණයට පත් සංඛ්‍යාව සිය ගණනක් යයි මුලදී ප්‍රකාශ කෙරුණ අතර පසුව එම සංඛ්‍යාව දහසකට වැඩි බව ප්‍රකාශ කර තිබුණි.

1989 ජූනි මාසයේ හතර වෙනිදා "විප්ලවීය විරෝධී කැරලිකරුවන්" මැඩ ලීමේ දී දෙසීයක් පමණ සාමාන්‍ය වැසියන් ද, යුද හමුදා භටයන් ගණනාවක් ද බේජිං නගරයේ දී මරණයට පත් වූ බව එම මාසය අවසානයේ චීන බලධාරීන් විසින් ප්‍රකාශයට පත් කරන ලද ප්‍රකාශනයක සඳහන් විය.

Image copyright AFP
Image caption ආහාර වර්ජනය කරමින් චතුරශ්‍රයේ රැඳී සිටි සිසුන්

එහෙත් එම සිදුවීම් සම්බන්ධයෙන් ජූනි මාසයේ පස් වෙනිදා රහස්‍ය පණිවුඩයක් එවන ඇලන් ඩොනල්ඩ් තානාපතිවරයා, දැනට චීනයේ පාලක රාජ්‍ය මණ්ඩලයේ සාමාජිකයකු වන කිට්ටු මිතුරකු වෙනත් තොරතුරු සහ සංඛ්‍යා ලේඛන ලබා දුන් බව පවසයි.

චීන රාජ්‍ය මණ්ඩලය අගමැතිවරයා විසින් මුලසුන දරනු ලබන එරට පාලක කැබිනට් මණ්ඩලයයි.

ඇලන් ඩොනල්ඩ් විසින් එවා තිබුණ අදාළ තොරතුරු මෑතක් වනතෙක් රහස්‍ය මට්ටමින් තබා තිබුණ නමුත් එම තොරතුරු HK01 වෙබ් අඩවියේ පළ වීමෙන් අනතුරුව පසුගිය ඔක්තෝබර් මාසයේ එම රහස්‍යභාවය ඉවත් කරනු ලැබුණි.

තමා ලද තොරතුරු තොරතුරු කෙරෙහි විශ්වාසය තැබිය හැකි අතර, ඒවා කටකතා සහ සැක සහිත තොරතුරු අතරින් ප්‍රවේශමෙන් තෝරා බේරා ගත් ඒවා වන බව ඇලන් ඩොනල්ඩ් තානාපතිවරයා පවසයි.

Image copyright AFP
Image caption 1989 ජූනි මාසයේ ශිෂ්‍ය විරෝධතා

" චතුරශ්‍රයෙන් ඉවත් වීමට තමන්ට තවත් පැයක කාලයක් ඇති බවයි විරෝධතා ව්‍යාපාරයට එක්ව සිටි ශිෂ්‍යයන්ගේ තේරුම් ගැනීම වී තිබුණේ. ඒත් විනාඩි පහක් ඇතුළත හමුදා ප්‍රහාරය එල්ල වුනා" ඇලන් ඩොනල්ඩ් සඳහන් කරයි.

"ශිෂ්‍යයන් අත් අල්ලා ගනිමින් මිනිස් දම්වැලක් ලෙස බැඳී සිටියා. එහෙත් හමුදා භටයන් ද ඇතුළුව ඔවුන් මරා දැම්මා. අනතුරුව හමුදාව වරින්වර මළ සිරුරු උඩින් දුවන්න පටන් ගත්තා. ඊට පස්සේ මළ සිරුරු එකතු කළේ බුල්ඩෝසර් යොදා ගනිමින්. අනතුරුව මළ සිරුරු පුළුස්සා දමල පොළොව හෝදලා දැම්මා"

"තුවාල ලබා සිටි සිසුවියන් හතර දෙනෙක් ඔවුන් මරන්න එපාය කියල ආයාචනය කළා. ඒත් හමුදා භටයන් ඔවුන්ට රයිෆල් බයිනේත්තු වලින් ඇනල මරල දැම්මා"

එම සිදුවීම් හමුවේ රට තුළ කඩිනමින් සිවිල් යුද්ධයක් ඇතිවීමේ වාතාවරණයක් ඇති බව චීන පාලක රාජ්‍ය මණ්ඩලයේ ඇතැම් සාමාජිකයන්ගේ අදහස වී තිබුණ බවත් ඇලන් ඩොනල්ඩ් සඳහන් කරයි.

1989 දේශපාලන විරෝධතා ව්‍යාපාරය සති හතක් ඇතුළත අවසන් කරනු ලැබුණි.

Image caption 'තියනෑන්මන්' චතුරශ්‍රයේ විරෝධතාවාදීන්

'තියනෑන්මන්' චතුරශ්‍රයේ දියත් කෙරුණ එම විරෝධතා ව්‍යාපාරය චීන කොමියුනිස්ට් පාලන ඉතිහාසයේ වාර්තා වූ විශාලතම උද්ඝෝෂණ ව්‍යාපාරය ද වෙයි.

එම විරෝධතා ව්‍යාපාරයේ දී සිදු වූ ඝාතන චීන සමාජය තුළ දැඩි සංවේදී තත්වයක් ජනිත කිරීමට හේතු විය.

'තියනෑන්මන්' චතුරශ්‍රයේ විරෝධතා ව්‍යාපාර සම්බන්ධයෙන් සමරු වැඩ සටහන් සංවිධානය කිරීම සම්බන්ධයෙන් බේජිං පාලනය දැඩි තහංචි පණවනු ලැබ ඇත.

එම සිදුවීම් ගැන අන්තර්ජාලය ඔස්සේ සාකච්ඡා කරනු ලැබීම පවා පාලනය කෙරෙයි.

එහෙත් විශේෂයෙන් හොංකොං සහ තායිවානය ඇතුළුව ලෝකයේ වෙනත් ස්ථානයන්හි දී 1989 වසරේ 'තියනෑන්මන්' චතුරශ්‍රයේ මර්දනය වාර්ෂිකව අනුස්මරණය කෙරෙයි.

සබැඳි පුවත්;