Bitcoin: මනාල යුවළකට ඩිජිටල් මුදල් තෑග්ගක්

Bitcoin Image copyright KASHIF MASOOD
Image caption ප්‍රශාන්ත් ශර්මා සහ නිටි ශ්‍රීගේ විවාහ උත්සවයට තෑගි ලෙස අමුත්තන් සියල්ලන්ගෙන්ම වාගේ ලැබුනේ Bitcoin

ඉන්දියාවේ වෙසෙන ප්‍රශාන්ත් ශර්මා සහ නිටි ශ්‍රී අතිනත ගත් අවස්ථාවේ තමන්ට අමුතු තෑග්ගක් දෙන මෙන් ඔවුහු සිය විවාහ උත්සවයට සහභාගි වූ අමුත්තන්ගෙන් ඉල්ලා සිටියහ.

ඒ ඩිජිටල් මුදල් (digital money/emoney) නැතහොත් ක්‍රිප්ටොකරන්සි (cryptocurrency) වර්ගයක් වන බිට්කොයින්ය. (Bitcoin)

තාක්ෂණය හා සම්බන්ධ සමාගමක හිමිකරුවන් වන දකුණු ඉන්දීය බැංගලෝර් නගරයේ වෙසෙන ඔවුන්ගේ මිතුරන් බොහෝ දෙනෙක් තාක්ෂණවේදය සම්බන්ධ රැකියාවල නිරතව සිටිති.

"ඉතින් අපි හිතුව තාක්ෂණය සහ අනාගතයට තෑගි දීම සම්බන්ධ කරන්න," ප්‍රශාන්ත් ශර්මා පැවසීය. "අපි මේක දෙමව්පියන්ට කියා සිටියාම ඔවුන් එය ඉක්මනින් වටහා ගත්තා," ඔහු තව දුරටත් පැවසුවේය.

ඔවුන් දෙදෙනා විවාහ වූයේ දෙසැම්බර් මස 9 වෙනි දිනය. ඒBitcoin මුදල් ආයෝජනයේ පවතින අවදානම් සහගත බව සහ දිනපතා වෙනස් වන එහි අගය හේතුවෙන් ඉන්දීය මහ බැංකුවෙන් Bitcoin ආයෝජකයන්ට තෙවන වරටද අනතුරු නිකුත් කර දින 4 ක් ගතවෙද්දීය.

නමුත් මේ කිසිවකින් නව යුවළ හෝ ඔවුන්ගේ නෑදෑ හිතමිතුරන් අධෛර්යයට පත්ව ඇති හැඩක් පෙනෙන්නට නැත.

මොනවද මේ Bitcoin?

මෙය ඉහළ යන මුදල් අවශ්‍යතා පාලනය කිරීම පිණිස මිනිසුන් විසින්ම නිර්මාණය කර ගන්නා ලද මුදල් ඒකකයකි.

මෙය තවත් ගනුදෙනු කළ හැකි මුදල් ඒකකයක් වුව ද Bitcoin වල හැසිරීම පාලනය කිරීමට බැංකුවක්, පුද්ගලයෙක් හෝ ආයතනයක් නැති වීම එහි සුවිශේෂී ලක්ෂණයක් වේ.

මෙම මුදල් ඒකකය විශාල වශයෙන් සංසරණය වන්නේ අන්තර්ජාලය තුළය.

සමහර ආයතන Bitcoin ගනුදෙනු පිළිගන්නා අතර වර්තමානයේ දී මෙය බහුලව භාවිතයට ගැනෙන්නේ මූල්‍ය ආයෝජනයක් ලෙසටය.

Image copyright Getty Images
Image caption මෙම මුදල් ඒකකය විශාල වශයෙන් සංසරණය වන්නේ අන්තර්ජාලය තුළය.

Bitcoin ගැන දැනගන්න:

යුගයක වෙනස: මොනවද මේ Bitcoin?

මෙම විවාහ උත්සවයට පැමිණි 200 කට ආසන්න අමුත්තන් පිරිසෙන් ඔවුන්ට සාම්ප්‍රදායික තෑගි ප්‍රදානය කළේ 15 දෙනෙකු පමණි. අනෙක් සියලු දෙනාම නව යුවළ ඉල්ලා සිටි Bitcoin තෑගි ලෙස ලබා දී ඇත. තමන්ට ඉන්දියානු රුපියල් 100,000 (ඇ.ඩො 1,559) පමණ වටිනා Bitcoin තෑගි ලැබුණ බව මනාලයාගේ විශ්වාසයය.

"මෙය හොඳ අදහසක්" බව උත්සවයට පැමිණ සිටි අමුත්තෙක් පැවසීය. "දැනට හුඟක් ආණ්ඩු මෙයට විරුද්ධ වුනත් මට විශ්වාසයි මෙහි පිළිගැනීම වැඩි වේවි කියල," ඔහු තවදුරටත් සඳහන් කළේය.

මෑතක දී ඉතා ඉහළ අගයකට ළඟා වුන Bitcoin කිසියම් මොහොතක දී පිපිරීමට ඉඩ තිබෙන බුබුලක් දැයි බොහෝ සැක පළ කරති. එක්තරා "සුදූ කෙළියක්" ලෙසින් ද හැදින්වෙන මෙහි ඩොලර් බිලියන ගණනක් දැනටමත් ආයෝජනය කරනු ලැබ තිබේ.

Image copyright Getty Images
Image caption මෑතක දී ඉතා ඉහළ අගයකට ළඟා වුන Bitcoin බුබුලකට සමාන කරමින් මත පළ වී ඇත.

"කිසිවෙක් පසුව විකුණන්න හිතාගෙන කිසියම් දෙයක් මිල දී ගන්නවානම් ඒක බුබුලක් නිර්මාණය කිරීමක්," ප්‍රශාන්ත් ශර්මා පැවසීය. "අපි Bitcoin මිලදී ගත්තේ අපිට මෙම තාක්ෂණය ඉදිරියට යන හැටි බලන්න ඕන වුන නිසා".

"දියුණු කරන්න පුළුවන් Bitcoin පමණක් නොවේ. Blockchain තාක්ෂණය ඊට වඩා කදිමයි."

Bitcoin හි ප්‍රධාන ලෙජරය Blockchain නමින් හඳුන්වනු ලබන අතර එම ජාලය ඇතුළත සිදුවන සියලු ගනුදෙනු මෙම ලෙජරයේ ස්වයංක්‍රීයව සටහන් වේ. මෙම ක්‍රියාවලිය තුළින් අනාගතයේ දී මූල්‍යමය ගනුදෙනු වල වෙනසක් ඇති විය හැකි බවට බොහොමයක් බැංකු පවසා තිබේ.

තෑගි ලෙස ලැබුණ Bitcoin විකුණා ලැබෙන මුදල අඩු වරප්‍රසාද ලත් දරුවන්ගේ අධ්‍යාපනයට යොදන බව ශර්මා සහ බිරිඳ පවසති.

මේ තොරතුරුද දැනගන්න: