රාජකීය විවාහ මගුලක් නිසා යාචකයන්ට තහනමක්?

විවාහ මංගල්‍යය හේතුවෙන් වින්ඩ්සර් ප්‍රදේශයේ සිඟමන් තහනම් කිරීමේ යෝජනාවක් Image copyright EPA
Image caption විවාහ මංගල්‍යය හේතුවෙන් වින්ඩ්සර් ප්‍රදේශයේ සිඟමන් තහනම් කිරීමේ යෝජනාවක්

හැරී කුමරුගේ හා මේගන් මර්කල් කුමරියගේ විවාහ මංගල්‍යය පැවැත්වීමට නියමිත වින්ඩ්සර් මාලිගය පිහිටි ප්‍රදේශයේ "ආවේගශීලී සිඟමන් යැදීම තහනම් කිරීමේ" යෝජනාවක් පිළිබඳව බ්‍රිතාන්‍යය තුළ සංවාදයක් මතුව පවතී.

රාජකීය විවාහ මංගල්‍යය පැවැත්වීමට නියමිත මැයි 19 දිනට ප්‍රථම "ආවේගශීලී සිඟමන් යැදීම" සම්බන්ධයෙන් මැදිහත් වන ලෙස නගර සභාවේ ප්‍රධානී සයිමන් ඩඩ්ලි (Simon Dudley) පොලීසියෙන් කළ ඉල්ලීමත් සමග හටගත් විවාදය හේතුවෙන් බ්‍රිතාන්‍ය අගමැතිවරිය ද දැඩි අපහසුතාවයකට පත්ව සිටියි.

වින්ඩ්සර් නගර සභාවේ ප්‍රධානියා කළ ඉල්ලීමට තමන එකඟ නොවන බව අග්‍රාමාත්‍ය තෙරේසා මේ පවසයි.

නගර සභාව "පොලීසිය සමග එක් වී" නිවාස අහිමි පුද්ගලයන්ට අවශ්‍ය පහසුකම් සැලසීම සඳහා වග බලා ගතයුතු බව අග්‍රාමාත්‍යවරියගේ ස්ථාවරය වී තිබේ.

Image caption ජනවාරි පළමුවෙනිදා සිට කොළඹ නගරයේද සිඟමන් යැදීම තහනම් කරන ලදී

නගරාධිපතිවරයා නිකුත්කළ නිවේදනයක සඳහන් වන්නේ යාචකයන් සිටීම තුළ රාජකීය විවාහ මංගල්‍යය පැවැත්වෙන සමයේ නගරය "දුක්මුසු අඳුරු පෙනුමක්" ගනු ඇති බවය.

එහෙත් ප්‍රාදේශීය පුවත්පතක හිමිකරුවෙක් පවසන්නේ යාචකයන්ට අපරාධ චෝදනා එල්ල කිරීම හෝ තාවකාලික ඉවත් කිරීම "ප්‍රශ්නයට විසඳුමක් නොවන බවය".

2015 වසරේ පවත්වන ලද ගණනයට අනුව 35ක් වූ නිවාස අහිමි පුද්ගලයන් 2016 වසරේදී 8 දෙනෙකු දක්වා අඩුවී ඇත. ඔවුන් ඉතා දුෂ්කර තත්වයන් යටතේ රිය ගතකරන්නේ මහා මාර්ග අසලය.

Image copyright Getty Images
Image caption මේගන් මාකල්

ශ්‍රී ලංකාවේ ද ජනවාරි පළමුවෙනිදා සිට කොළඹ නගරයේ සිඟමන් යැදීම තහනම් කළ ආණ්ඩුව, කිසිදු පිළිසරණක් නොමැතිව හිඟමනට වැටී සිටින යාචකයින් රැකබලා ගැනීමේ වැඩපිළිවෙළක් සකස්කර ඇති බව ද ප්‍රකාශයට පත්කළේය.

කොළඹ නගරයෙන් ඉවත් කරන යාචකයන්ට දිනකට රුපියල් 1,500ක් උපයාගත හැකි පරිදි පහත්බිම් සංවර්ධන මණ්ඩලය මගින් රැකියා අවස්ථා ලබා දෙන බව මහානගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍යාංශය ප්‍රකාශ කර තිබේ.

එහෙත් කොළඹ නගරයේ සහ ඒ අවට සිඟමනේ යෙදෙන යාචකයෝ මේ තහනම් පිළිබඳව දැඩි කැළඹීමකට පත්ව සිටිති. තමන්ගේ එකම ආදායම අහිමිවීම ගැන ඇතැමුන් කණගාටුවෙන් පසුවන අතර යළිත් තමන්ට රිදීගම යාචක පුහුණු මධ්‍යස්ථානයට යාමට සිදුවනු ඇතැයි තවත් සමහරු බියෙන් පසුවෙති.

තවත් පුවත්:

මේ පුවතට සම්බන්ධ තවත් විස්තර