දකුණු කොරියාවේ රෝහල් ගින්නෙන් විශාල ජීවිත විනාශයක්

Image copyright Reuters
Image caption මරණ සංඛ්‍යාව තවත් වැඩිවනු ඇතැයි බිය පළ වෙමින් පවතී

දකුණු කොරියාවේ රෝහලක් ගිනිබත්වීමෙන් අඩු තරමින් 39 දෙනකුවත් මරණයට පත් වූ බව වාර්තා වෙයි.

ගිනි නිවන හමුදා භටයන් පවසන ආකාරයට 39 දෙනකු මරණයට පත් වී ඇති නමුත් මරණ සංඛ්‍යාව 41 ක් බව පොලිසිය තක්සේරු කරයි.

මරණයට පත්වූවන්ට අමතරව තවත් විශාල පිරිසක් ගින්නෙන් තුවාල ලබා ඇත.

තුවාල ලද සංඛ්‍යාව හැත්තෑවක් බව බීබීසී වාර්තාවක දැක්වෙයි.

Image copyright Reuters
Image caption ගින්නෙන් පසු රෝහලේ දර්ශනයක්

දකුණු කොරියාවේ ගිනිකොණ කලාපයේ පිහිටි මිල්යෑන්(Milyang) නගරයේ 'සෙජෝන්'රෝහලේ (Sejong Hospital) හදිසි අංශයේ කාමරයකින් ගින්න ආරම්භ වී ඇතැයි සැලකෙන අතර ගිනි නිවන හමුදා භටයන්ට එය මැඩ පැවැත්වීමට පැය කීපයක්ම ගතවී ඇත.

මෙය වසර දහයක පමණ කාලයකින් දකුණු කොරියාවෙන් වාර්තා වූ බිහිසුණුම ගින්න ලෙස හඳුන්වා දෙනු ලැබ ඇති අතර මරණ සංඛ්‍යාව තවත් වැඩිවෙනු ඇතැයි බියසැක පළ වෙමින් පවතී.

Image copyright Reuters
Image caption ගින්නට හේතුව කුමක්ද යන්න තවම පැහැදිලි නැත

ගින්න හටගත් මොහොතේ දෙසීයකට ආසන්න රෝගීන් සංඛ්‍යාවක් එහි සිටි බවත් වාර්තා වෙයි.

ඔවුන්ගෙන් වැඩි දෙනෙක් රෝහලේ හෙද සායන අංශයකට පැමිණ සිටි මහළුවියේ පසුවූවන් බවත් පැවසෙයි.

එම විපත වාර්තා වීමත් සමඟ දකුණු කොරියානු ජනාධිපති මූන් ජේ ඉන්(Moon Jae-in) ආණ්ඩුවේ ප්‍රතිචාරය පිළිබඳව සාකච්ඡා කිරීම සඳහා හදිසි සාකච්ඡාවක් කැඳවා තිබුණි.

ගිනි නිවන හමුදා භටයන් 'යොන්හැප්' (Yonhap) පුවත් සේවයට ප්‍රකාශ කර ඇති ආකාරයට මරණයට පත්වූවන් දුමාරය නිසා හුස්ම හිරවීමෙන් මියගොස් ඇති ආකාරයක් දක්නට ලැබෙයි.

මරණයට පත්වූවන් අතර වෛද්‍යවරයෙක් සහ හෙදියක් ද ඇතුළුව රෝහල් කාර්ය මණ්ඩල සාමාජිකයන් ද ඇති බව වාර්තා වෙයි.

Image copyright Reuters
Image caption ගින්නට ගොදුරුවූවන් වැඩිදෙනා රෝහලට ගෙනැවිත් සිටි වෘද්ධයන් බවත් පැවසෙයි

මාසයකට යාන්තමින් වැඩි කාලයක් ඇතුළත දකුණු කොරියාවෙන් වාර්තා වූ විනාශකාරී දෙවැනි ගින්න මෙයයි.

එරට ශාරීරික අභ්‍යාස ආයතනයක පසුගිය දෙසැම්බර් මාසයේ ඇති වූ ගින්නකින් 29 දෙනකු මරණයට පත්විය.

සබැඳි පුවත්;

මේ පුවතට සම්බන්ධ තවත් විස්තර