'කිරිබති' දූපතේ මගී පාරුව පනහක් සමග අතුරුදහන්

Image caption ශාන්තිකර සාගරයේ විහිදුන 'කිරිබති' දූපත් 33කින් යුක්ත වෙයි

'කිරිබති' දූපත් සමූහය අතර යාත්‍රා කරමින් තිබිය දී අතුරුදහන් වූ මගී ප්‍රවාහනයේ නිරත යාත්‍රාවක් සොයා ගැනීමේ මෙහෙයුමක් ආරම්භ වී ඇත.

එම්.වී. බුටිරොයි (MV Butiraoi) නම් එම යාත්‍රාව අතුරුදහන් වෙන විට මගීන් පනහක් පමණ එහි ගමන් ගනිමින් සිටි බව වාර්තා වෙයි.

යාත්‍රාව ජනවාරි 18වෙනිදා දින දෙකක සංචාරයක් සඳහා නොනොයුටි (Nonouti) දූපතින් ගමන් ආරම්භ කර ඇත.

එදින රාත්‍රියේ යාත්‍රාව අතුරුදහන් වූ බව වාර්තා වී ඇති අතර නවසීලන්ත හා ෆීජි නිලධාරීහු එය සෙවීමේ කටයුතුවලට 'කිරිබති' බලධාරීන්ට සහයෝගය දෙමින් සිටිති.

මගී පාරුව සොයා ගැනීම සඳහා නවසීලන්ත ගුවන් හමුදාව මුහුද අධීක්ෂණය කළ හැකි මුර සංචාරක යානයක් යොදවා ඇති බව වාර්තා වෙයි.

මීටර් 17.5ක් පමණ දිගින් යුත් දැවමය යාත්‍රාව දූපත් අතර ප්‍රවාහන කටයුතු සඳහා යොදා ගනු ලබන්නකි.

යාත්‍රාව නොනොයුටි (Nonouti) දූපතේ සිට කිලෝමීටර් 260ක් පමණ ඔබ්බෙන් ඇති රටේ ප්‍රධාන තොටුපොළ වන බිටියෝ (Betio) බලා පිටත්ව ඇති බව සෝදිසි කිරීම සඳහා සහාය වන නවසීලන්ත මුදවා ගැනීම් සම්බන්ධීකරණ කාර්යාලය (RCCNZ) පවසයි.

ජනවාරි 20 වෙනිදා ගමනාන්තය කරා ලඟා වීමට නියමිතව තිබූ මගී පාරුව අතුරුදහන් වී දැනට සතියක් ගතව ඇත.

Image copyright Getty Images
Image caption නවසීලන්ත ගුවන් හමුදාව ද මෙහෙයුමේ

නවසීලන්ත ගුවන් හමුදාව සෝදිසි මෙහෙයුමට සහයෝගය දෙන බව එරට මුදවා ගැනීම් සම්බන්ධීකරණ කාර්යාලය පවසයි.

"මෙම යාත්‍රාව සහ එහි ගමන්ගත් පුද්ගලයන් සොයා ගැනීමට අපට කළහැකි හැමදේම කරණවා" එහි ජ්‍යෙෂ්ඨ නිළධාරියෙක් පැවසීය.

"යාත්‍රාව ගමන් ආරම්භ කිරීමට මොහොතකට පෙර එහි අවර පෙත්තේ නඩත්තු කටයුත්තක් කළ බව අපට දැන ගැනීමට ලැබුනා. එම දෝෂය මේ අනතුර සිදුවීමට හේතුවක් වන්නට පුළුවන්" ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.

හිරිගලින් නිර්මාණයවූ දූපත් 33කින් පමණ සමන්විත 'කිරිබති' දූපත් ශාන්තිකර සාගරයේ නිරක්ෂයට ආසන්නයෙහි විශාල ප්‍රදේශයක් පුරා විසිරී ඇත.

ඉන් බොහෝ දූපත් ජනාවාස වී ඇති නමුත් වැඩි දූපත් ප්‍රමාණයක් ලෝක උෂ්ණත්වය වැඩිවීමත් සමග මුහුදු මට්ටම ඉහළ යාමෙන් ඊට යටවීමේ තර්ජනයකට මුහුණ දී ඇත.

වෙනත් පුවත්:

මේ පුවතට සම්බන්ධ තවත් විස්තර