ලිබියානු මුහුදු අනතුරින් විශාල ජීවිත විනාශයක්

Image copyright AFP
Image caption බෝට්ටුවලට දරාගත නොහැකි පිරිසක් පටවා ගැනීම බොහෝ අනතුරුවලට හේතු වෙයි

ලිබියාවට ඔබ්බෙන් මුහුදු තීරයේදී සංක්‍රමණිකයන් රැගත් බෝට්ටුවක් පෙරළීමෙන් අනූවක් මියගොස් ඇතැයි බියසැක පළ වෙමින් ඇති බව සංක්‍රමණිකයන් පිළිබඳ එක්සත් ජාතීන්ගේ ආයතනය (UN's Migration Agency) පවසයි.

එම අනතුරෙන් මුහුදට බිළි වූ වැඩිදෙනා පාකිස්තාන් ජාතිකයන් බව දිවි ගළවා ගත් තිදෙනෙක් පවසති.

දකුණු යුරෝපයට පිවිසීමට තැත් කරන සංක්‍රමණිකයන් ඊට ඇතුල්වෙන ප්‍රධාන මධ්‍යස්ථානයක් ලෙස වසර ගණනාවක් තිස්සේ යොදාගනු ලබන්නේ ලිබියාවය.

නමුත්, සංක්‍රමණිකයන් රැගත් බෝට්ටු නතර කිරීමට සහ අනාථයන් ඉතාලියට යැවීම නතර කිරීම සඳහා යූරෝපා හවුල පසුගිය වසරේ ලිබියානු වෙරළ ආරක්ෂකයන් සමග එකඟතාවයක් ඇතිකර ගත් අතර එම පියවර විවාදයකට තුඩු දී ඇත.

එවැනි ක්‍රියා මාර්ගයක් මගින් යුරෝපා රටවල් අමානුෂික පිළිවෙතක් අනුගමනය කරන බවට එක්සත් ජාතීන්ගේ සංවිධානය චෝදනා කරයි.

ඉහතකී මුහුදු අනතුර සම්බන්ධයෙන් නිවේදනයක් නිකුත් කරන සංක්‍රමණිකයන් පිළිබඳ අන්තර්ජාතික සංවිධානය (IOM) "මළ සිරුරු දහයක් ලිබියානු වෙරළට පාවී ඇති බව වාර්තා වී ඇතැයි " පවසයි.

Image copyright AFP
Image caption පාකිස්තාන් ජාතිකයෝ අනතුරුදායක මාර්ග ඔස්සේ ඉතාලියට පිවිසීමට උත්සාහ දරති

පාකිස්තාන් ජාතිකයන් අනතුරුදායක මාර්ග ඔස්සේ ඉතාලියට පිවිසීමට දරන උත්සාහය වැඩි වෙමින් ඇතිබව ප්‍රකාශකයෙක් සඳහන් කළේය.

මරණයට පත් සහ දිවි ගලවාගත් පිරිස අතර ලිබියානු වැසියන් ද සිටින අතර එය මින්පෙර සාමාන්‍යයෙන් දක්නට නොලැබුන දෙයක් බව බීබීසීඋතුරු අප්‍රිකානු වාර්තාකරිය, රානා ජාවඩ් පවසන්නීය.

'ෆේස්බුක්' සටහනක් අනුව ලිබියානු කාන්තාවක් දියේ ගිලීමෙන් මරණයට පත්ව ඇති අතර දිවි බේරුණ තිදෙනාගෙන් දෙදෙනෙක් ලිබියානු ජාතිකයෝ වෙති.

ලිබියානු ජාතිකයන් තම රටේ සිට දකුණු යුරෝපය දක්වා ගමන් කිරීමට අනතුරුදායක හා නීති විරෝධී මුහුදු ගමන් තෝරා ගනු ලැබීම සිදුවන්නේ කලාතුරකිනි.

අනවසර ලිබියානු සංක්‍රමණිකයන් පිළිබඳව පසුගිය වසරේ වාර්තා වී ඇති නමුත්, ඔවුහු ඒ සඳහා මගීන් ටික දෙනකු ගමන් ගන්නා ආරක්ෂාකාරී බෝට්ටු යොදා ගනිති.

පසුගිය පුවත්:

සබැඳි විෂයයන්

මේ පුවතට සම්බන්ධ තවත් විස්තර