රට පුරා හදිසි නීතිය: මාලදිවයිනේ සිදුවන්නේ කුමක්ද?

Image copyright Reuters

ඉදිරි දින 15ක කාලය සඳහා රට පුරා හදිසි නීතිය පණවන බව මාලදිවයිනේ ආණ්ඩුව නිවේදනය කළේය.

ආණ්ඩුව එම නිවේදනය කළේ ශ්‍රේෂ්ඨාධිකරණයේ නියෝගය ප්‍රකාර සිරගත කරනු ලැබ සිටින විරුද්ධ පක්ෂයේ දේශපාලාන සිරකරුවන් නිදහස් කරන මෙන ඉල්ලා සිටිමින් මාලදිවයින් විරුද්ධ පක්ෂ ආධාරකරුවෝ දිවා රෑ නොබලා උද්ඝෝෂණවල නිරතව සිටින අතරවාරයේය.

ඒ අතරවාරයේ සිය මුල් නියෝගය ප්‍රකාර රටේ ව්‍යවස්ථාවට ගරු කරමින් විරුද්ධ පක්ෂ දේශපාලනඥයන් 09 දෙනා නිදහස් කරන මෙන් ජනාධිපති අබ්දුල්ලා යමීන්ගේ පාලනයෙන් ඉල්ලා සිටිමින් ශ්‍රේෂ්ඨාධිකරණය නිවේදනයක් ද නිකුත් කොට තිබේ.

හිටපු ජනාධිපති මොහොමඩ් නෂීඩ් සහ තවත් විපක්ෂ දේශපාලනඥයන් 08 දෙනෙක් ඉහත කී දේශපාලන සිරකරුවන් අතර වෙති.

ඔවුන්ට එරෙහිව පැවැත්වූ නඩු විභාග දෝෂසහගත සහ දේශපාලන අරමුණකින් දියත් වූවක් බව අධිකරණයේ නිගමනය විය.

එහෙත් එම නියෝගය පිළිබඳව ප්‍රශ්න කරන ආණ්ඩුව එය ක්‍රියාත්මක කිරීම ප්‍රතික්ෂේප කරයි.

මේ අතර ආණ්ඩුව ආරක්ෂා කර ගැනීම වෙනුවෙන් අවශ්‍ය නම් සිය ජීවිත වුවත් පරිත්‍යාග කරන බවට හමුදාවේ සහ පොලිසියේ ඉහළ නිලධාරීන් දිවුරුම් දීමේ උත්සවයක් ඉරිදා (පෙබරවාරි 04) එරට රූපවාහිනිය ඔස්සේ විකාශය කෙරිණි.

ජනාධිපතිවරයා ඇතුළු ආණ්ඩුවේ ක්‍රියාකලාපය හේතුවෙන් අගවිනිසුරු ඇතුළු බොහෝ විනිසුරන් බරපතල පීඩනයකට ලක්ව සිටින බව ද වාර්තාවේ.

අගවිනිසුරු අබ්දුල්ලා සයීඩ් (Abdulla Saeed) සමග දුරකථන සංවාදයකින් අනතුරුව ට්විටර් පණිවුඩයක් නිකුත් කරන කොළඹ සිටින බ්‍රිතාන්‍ය මහ කොමසාරිස් ජේම්ස් ඩවුරිස් පවසන්නේ සියලු රටවැසියන්ගේ යහපත උදෙසා අධිකරණයේ ස්වාධීනත්වයට ගරුකිරීම අත්‍යවශ්‍ය කරුණක් බවය.

සඳුදා (පෙබරවාරි 05) රාත්‍රියේ අගවිනිසුරු සයීඩ් අමතා, ප්‍රජාතන්ත්‍රවාදය සහ මානව හිමිකම් පිළිබඳව එක්සත් ජනපදයේ සහාය පළ කළ බව කොළඹ සිටින ඇමෙරිකානු තානාපති අතුල් කෙෂප් ද පවසයි.

Image copyright Science Photo Library

අධිකරණය දූෂිතද?

අධිකරණ නියෝග පිළිපැදීම ප්‍රතික්ෂේප කරන ආණ්ඩුවේ ප්‍රධානම තර්කයක් වී තිබෙන්නේ අධිකරණය දූෂිත බවය.

"සමස්තයක් ලෙසින් මාලදිවයින් සමාජයේ සෑම පැතිකඩක්ම පාහේ දූෂිත බැවින් අධිකරණය එයින් වියුක්ත කළ නොහැකි බව" එම චෝදනාව පිළිබඳව ප්‍රතිචාර දක්වන මාලදිවයින් ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයේ හිටපු සභාපති සහ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු වන අලි වහීඩ් සහ මාලදිවයින් අධිකරණ සේවා කොමිසමේ හිටපු සාමාජිකයෙකු වන ශන්සුල් ෆලා (Shamsul Falaah) දෙදෙනාගේම ස්ථාවරයය.

"දේශපාලන දූෂණ සහ අධිකරණ පද්ධතියේ දූෂණ ගැන සමාජයේ හැම දෙනාම කතාකරනවා. ඒක මාලදිවයිනේ කිසිම කෙනෙකුට අලුත් ප්‍රවෘත්තියක් නෙවෙයි," යනුවෙන් ශන්සුල් ෆලා පැවසීය.

"අනෙක් ඕනෑම සංවර්ධනය වෙමින් පවතින රටක වගේ මාලදිවයින් සමාජයේත් සෑම මුල්ලකම දූෂණය රජ කරනවා."

එබැවින් අධිකරණයට පමණක් එවැනි චෝදනාවක් එල්ල කිරීම සාධාරණ නොවන බව ඔහු පැවසීය.

Image copyright Getty Images

රටේ අධිකරණයට ක්‍රියාත්මකවීමට සිදු වී තිබෙන්නේ අතිශය බරපතල පීඩනයක් යටතේ බව බීබීසී සිංහල සේවය සමග කියා සිටි අලි වහීඩ් (Ali Waheed) හිටපු මන්ත්‍රීවරයා, රටේ අනෙක් සියලු අංශවල මෙන්ම අධිකරණයේ ද ප්‍රගතියක් සිදුවිය යුතු නමුත් තමන් කිසිදු විනිසුරුවරයෙකුට චෝදනා නොකරන බව ද ඔහු සඳහන් කළේය.

"අධිකරණයේ සමහර තීන්දු ගැන අපිටත් ගැටලු තියෙනව. නමුත් එහෙම ගැටලු තියෙන එකම ක්ෂේත්‍රය අධිකරණය විතරක් නෙවෙයි."

අධිකරණ පද්ධතියේ ඉතිහාසය

මාලදිවයින් අධිකරණ සේවා කොමිසමේ හිටපු සාමාජික ශන්සුල් ෆලා මතු වී තිබෙන අර්බුදය පිළිබඳව බීබීසී සිංහල සේවය සමග අදහස් දැක්වීම ආරම්භ කළේ රටේ අධිකරණ ක්‍රමයේ ඉතිහාසය පිළිබඳව විස්තරයකිනි.

මොහමඩ් නෂීඩ් ජනාධිපතිවරයාගේ පාලනය අවස්ථාවේ රටේ නව ව්‍යවස්ථාවක් සම්පාදනය කොට මුලින්ම ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන් පත් කළ අවස්ථාවේ ඒ සඳහා සුදුසුම පුද්ගලයන් පත්කිරීමට ඒ අවස්ථාවේ පැවති දේශපාලන වාතාවරණය හරස් වූ බව ද දැනට නවසීලන්තයේ ඕක්ලන්ඩ් විශ්වවිද්‍යාලයේ නීතිය පිළිබඳ කථිකාචාර්යවරයෙකු ලෙස සේවය කරන ඔහු පෙන්වා දුන්නේය.

ජනපතිවරණයෙන් තේරී පත්වුවත් ඒ අවස්ථාවේ පාර්ලිමේන්තුවේ බහුතර බලය පැවතියේ හිටපු ජනාධිපති ගයියුම් ගේ පක්ෂයටය.

"ඒ නිසා ඒ අවස්ථාවේ ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරන් පත් කිරීම දේශපාලන පක්ෂ අතර කෙරුණු ගනුදෙනුවක් බවට පත්වුණා," කථිකාචාර්ය ශන්සුල් ෆලා පැවසීය.

ඉන් අනතුරුව 2015 දී අබ්දුල්ලා යමීන් ගේ පාලනය යටතේ ශ්‍රේෂ්ඨාධිකරණයේ සංයුතිය විනිසුරුවන් හත් දෙනෙකුගේ සිට පස් දෙනෙක් දක්වා අඩු කොට, නව අගවිනිසුරුවරයෙක් ද පත්කරන ලදි.

ඒ අවස්ථාවේ මාලදිවයින් ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂය (MDP) ඇතුළු විපක්ෂය එම සංශෝධනයට සහාය දුන්නේ එවක සිරගතව සිටි හිටපු ජනාධිපති මොහමඩ් නෂීඩ්ගේ දඬුවම අවලංගු කරගැනීමේ අභිප්‍රායෙන් බවට කථිකාචාර්ය ශන්සුල් ෆලා චෝදනා කරයි.

"එහි ප්‍රතිඵලයක් විදියට ශ්‍රේෂ්ඨාධිකරණය තවත් බලවත් වුනා. ඇත්තටම ඊට පස්සේ අධිකරණය කළේ අධිකරණ ක්‍රියාමාර්ග නොවෙයි, අධිකරණ වික්‍රම කිරීම."

තවත් කියවන්න:

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී අලි වහීඩ් එම චෝදනාව සම්පූර්ණයෙන්ම බැහැර නොකරයි.

2015 මැයි 01 වෙනිදා මාලදිවයින් ආණ්ඩුවට එරෙහිව දැවැන්ත උද්ඝෝෂණයක් මෙහෙයවීමෙන් අනතුරුව අත්අඩංගුවට ගනු ලැබුන අලි වහීඩ් නිදහස ලැබීමෙන් අනතුරුව දැනට බ්‍රිතාන්‍යයේ දේශපාලන රැකවරණ ලබා සිටියි.

අබ්දුල්ලා යමීන් ප්‍රමුඛ ආණ්ඩුව විසින් එල්ල කරන ලද බරපතල පීඩනය හමුවේ සිය පක්ෂයටත් ඇතැම් අවස්ථාවල දුර්වල තීන්දු ගැනීමට සිදු වූ අතර, එවැනි ඇතැම් තීන්දු පිළිබඳව තමන් මෙන්ම පක්ෂය ද දැන් කනගාටුවන බවත් අලි වහීඩ් සඳහන් කළේය.

Image copyright Getty Images

"මම එදා ඒ තීන්දුවට විරුද්ධ වුනා, ඒත් ඒක පක්ෂය ගත්ත තීරණයක්. නමුත් අපි මතක තියාගන්න ඕනේ අපිට සමහර තීන්දු ගන්න සිද්ද වුනේ කෘර පාලනයක දැඩි පීඩනය යටතේ බව."

ආණ්ඩුවේ ස්ථාවරය

ශ්‍රේෂ්ඨාධිකරණය සිකුරාදා ලබාදුන් තීන්දුව ක්‍රියාවට නැගීම ප්‍රතික්ෂේප කළ ආණ්ඩුව පාර්ලිමේන්තු සැසිවාරය තාවකාලිකව කල් තබා දැන් රටේ හදිසි නීතිය ද පණවා තිබේ.

ඒ සමගම සැකකරුවන් අත්අඩංගුවට ගැනීම පිණිස හමුදාවට අතිරේක බලයක් පැවරේ.

ඒ අතර ජනාධිපතිවරයා අත්අඩංගුවට ගැනීමේ ඕනෑම උත්සාහයක් නීතිවිරෝධී බව නීතිපතිවරයා ප්‍රකාශ කර තිබේ.

ආරක්ෂක ප්‍රධානී ජනරාල් ශියම් සහ පොලිස් කොමසාරිස් අබ්දුල්ලා නවාස් සමග ඉරිදා මාධ්‍ය හමුවක් ඇමතූ නීතිපති මොහමඩ් අනිල්, ජනාධිපති අබ්දුල්ලා යමීන්ට තවදුරටත් පදවිය දැරිය නොහැකි බවට ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කිරීමට ඉඩ තිබෙන බවට අනතුරු ඇඟවීය.

එවැනි තත්වයක් මගින් රටේ "ජාතික ආරක්ෂක අර්බුදයක්" නිර්මාණය වීමට ඉඩ තිබෙන බව සඳහන් කළ ඔහු, එබැවින් එවැනි "ව්‍යවස්ථා විරෝධී නියෝග" ක්‍රියාත්මක කිරීමෙන් වළකින්නැයි තමන් පොලිසියට සහ හමුදාවට උපදෙස් දුන් බවත් වැඩිදුරටත් පැවසීය.

මේ අතර ට්විටර් පණිවුඩයක් නිකුත් කරන ඇමෙරිකානු තානාපති අතුල් කෙෂප්, අධිකරණය සම්බන්ධ ව්‍යවස්ථාවේ ඡේද උපුටා දක්වමින් කිසිදු රජයේ නිලධාරියෙක් අධිකරණයේ ස්වාධීනත්වයට ඇඟිලි නොගැසිය යුතු බව අවධාරණය කර තිබේ.

මාලදිවයිනේ මේ අවස්ථාවේ මතු වී අර්බුදයට රටේ ප්‍රධාන පක්ෂ දෙකම වගකිව යුතු බව මේ අතර කථිකාචාර්ය ශන්සුල් ෆලා අවධාරණය කරයි.

මේ පුවතට සම්බන්ධ තවත් විස්තර