මාලදිවයින් අගවිනිසුරු පොලිස් අත්අඩංගුවේ

Image caption සඳුදා හදිසි තත්වයක් ප්‍රකාශයට පත් කිරීමත් සමඟ තත්වය තවත් නරක අතට හැරුණි

මාල දිවයින් සමූහාණ්ඩුවේ දේශපාලන අර්බුදය හමුවේ ආණ්ඩුව ක්‍රියාකරන ආකාර ජාත්‍යන්තර මට්ටමින් හෙලා දැකීමට ලක්වෙමින් ඇති අතර විපක්ෂයේ විරෝධතා ව්‍යාපාරය දිගටම පෙරට යමින් ඇතිබව මාලදිවයින් ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂය පවසයි.

එම පක්ෂයේ නියෝජිතවරියක් වන සානා අමනිත් (Shauna Amanith) බීබීසී සිංහල සේවය සමඟ 'මාලේ' අගනුවර සිට කතා කරමින්, ආණ්ඩුව හදිසි නීතිය පැනවීමත් සමඟ කතාකිරීමේ, අදහස් ප්‍රකාශ කිරීමේ සහ ප්‍රචාරණයේ නිදහසට සීමා පනවා ඇති අතර පාර්ලිමේන්තුව යුද හමුදාවේ පාලනය යටතේ පවතින බව සඳහන් කළාය.

ආණ්ඩුව විසින් රටතුළ හදිසි නීතිය ප්‍රකාශයට පත් කරනු ලැබීමෙන් පැය කීපයකට පසු අගවිනිසුරු අබ්දුල්ලා සයිඩ් සහ අලි හමීඩ් නම් තවත් විනිශ්චයකාරයකු අත්අඩංගුවට ගත් බව මාල දිවයින් වාර්තා මගින් පැවසෙයි.

ඔවුන්ට එරෙහි චෝදනා හෝ දැනට සිදු කෙරෙන විභාගයක් පිළිබඳව තොරතුරු ප්‍රකාශයට පත් කර නැත.

Image copyright Getty Images
Image caption විරෝධතාවාදීන් මැඩලමින් ඉදිරියට යන පොලිසිය

මේ අර්බුදය ආරම්භ වුණේ අධිකරණ නියෝගයක් අනුව දේශපාලන සිරකරුවන් මුදා හරිනු ලැබීම ජනාධිපති අබ්දුල්ලා යමීන් විසින් ප්‍රතික්ෂේප කරනු ලැබීමත් සමඟය.

හිටපු ජනාධිපති මොහොමඩ් නෂීඩ් සහ තවත් විපක්ෂ දේශපාලනඥයන් 08 දෙනෙක් ඉහත කී දේශපාලන සිරකරුවන් අතර වෙති.

ඔවුන්ට එරෙහිව පැවැත්වූ නඩු විභාග දෝෂසහගත සහ දේශපාලන අරමුණකින් දියත් වූවක් බව අධිකරණයේ නිගමනය විය.

මාලදිවයිනේ හිටපු ජනාධිපති අබ්දුල් ගයූම් ද අත්අඩංගුවේ පසුවෙන බව මාලදිවයින් ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයේ නියෝජිත සානා අමනිත් (Shauna Amanith) ප්‍රකාශ කළාය.

"හිටපු ජනාධිපති ගයූම් අත්අඩංගුවට ගත්තේ ඔහු ජනාධිපතිවරයාට දුන් සහයෝගය නතර කිරීමත් සමඟයි. එම සහයෝගය නතර වීමත් එක්ක ආණ්ඩුවට පාර්ලිමේන්තු බහුතර බලය අහිමි වුණා" බීබීසිය විසින් යොමු කරන ලද ප්‍රශ්නයකට පිළිතුරු දුන් ඇය සඳහන් කළාය.

මේවනවිට බලයේ සිටින ජනාධිපති අබ්දුල්ලා යමීන් මහජන විශ්වාසයෙන් තොර පුද්ගලයකු බවට පත්ව ඇති බවත් සානා අමනිත් පවසන්නීය.

Image copyright Reuters
Image caption විපක්ෂයේ ආධාරකරුවන් කණ්ඩායමක් උද්ඝෝෂනයේ

ජාත්‍යන්තර ප්‍රතිචාරය

මාල දිවයින් ආණ්ඩුවේ හැසිරීම පහත් මට්ටමක එකක් හැටියට විපක්ෂය විසින් හඳුන්වා දෙනු ලැබ ඇති අතර, ආණ්ඩුවේ එම හැසිරීම ජාත්‍යන්තර මට්ටමින් ද හෙලා දැකීමට ලක් වෙමින් ඇත.

"ආණ්ඩුව පනවල තියෙන හදිසි තත්වය ඉවත් කරන්න කියල බ්‍රිතාන්‍ය ආණ්ඩුව කියල තියෙනවා. දැන් පවතින තත්වය සම්බන්ධයෙන් ඊයේ රාත්‍රියේ ඇමෙරිකාව සහ එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලය කණස්සල්ල පළ කරලා තියෙනවා. කැනඩා ආණ්ඩුවත් එවැනි ප්‍රකාශයක් කරලා තියෙනවා" මාලදිවයින් ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයේ නියෝජිත සානා අමනිත් (Shauna Amanith) බීබීසියට ප්‍රකාශ කළාය.

සිරගත කරනු ලැබ සිටින විරුද්ධ පක්ෂයේ දේශපාලන සිරකරුවන් නිදහස් කරන මෙන් ඉල්ලා සිටිමින් මාලදිවයින් විරුද්ධ පක්ෂ ආධාරකරුවෝ දිවා රෑ නොබලා දිගටම උද්ඝෝෂණවල නිරතව සිටිති.

සබැඳි පුවත්;

මේ පුවතට සම්බන්ධ තවත් විස්තර