මනාලියගේ කන්‍යාභාවය පිරික්සීමේ "නින්දිත" චාරිත්‍රය අවසන් කිරීමේ සටනක්

Image copyright Getty Images

ඉන්දියාවේ මහාරාශ්ට්‍ර ප්‍රාන්තයේ ජීවත් වන ස්ථීර පදිංචියක් නොමැති ගෝත්‍රික ප්‍රජාවක් අතර පවතින මනමාලියන්ගේ කන්‍යාභාවය පරීක්ෂා කිරීමේ "නින්දා සහගත" චාරිත්‍රයට එරෙහිව දියත්ව තිබෙන උද්ඝෝෂණ ව්‍යාපාරයක් පිළිබදව බීබීසී මාරතී භාෂා වාර්තාකාරිය ප්‍රජක්තා දුලප් (Prajakta Dhulap) ගෙන එන විමසුමකි, මේ.

*******

දෙවසරකට පෙර විවාහ දිනයේදී මුහුණ දුන් අපහසුතා සිහි ගැන්වෙන විට තවමත් දෑස් කඳුලින් තෙමී යන බව විසි දෙහැවිදිරි ඇනිටා පවසන්නීය.

ලක්ෂ දෙකක පමණ පිරිසකගෙන් සැදුම්ලත් කන්ජාබාත් (Kanjarbhat) ගෝත්‍රයට අයත් පිරිස් බොහෝ විට දැකිය හැකි වන්නේ මහාරාශ්ට්‍ර ප්‍රාන්තයෙහිය. එම ගෝත්‍රයට අයත් අන් සෑම කාන්තාවකට සේම ඇනිටා හට ද "කන්‍යාභාවය පරීක්ෂා" කිරීමට බල කර සිටියේ ඇයගේ "ශීලාචාර" බව සොයා දැනගැනීමටය.

මෙම පරීක්ෂණය ප්‍රජාව ඇතුළත සිදුවන විවාහයක අනිවාර්ය අංගයක් වන අතර, දැඩි බලපෑමක් කළ හැකි 'පංචායත්' නමින් හඳුන්වන ගම් සභාවෙන් එකී පරීක්ෂණය බලාත්මක කර ඇත.

විවාහ උත්සවයෙන් පසු සුදු රෙදි කඩක් අතට දී, ගම් සභාවෙන් හෝ පවුලේ සාමාජිකයින් විසින් කුලියට ගත් හෝටල් කාමරයකට නව යුවළ පිටත් කර හැරේ. ඉන්පසු ඔවුන් ආලිංගනයේ යෙදෙන තුරු දෙදෙනාගේම ඥාතීන් සහ ගම් සභාවේ සාමාජිකයින් කාමරයෙන් පිටත රැඳී සිටිති. ලිංගික සංසර්ගය අතරතුර මනමාලියගේ යෝනියෙන් රුධිරය වහනය වූයේ නම් ඇය කන්‍යාවක් ලෙස පිළිගැනෙන අතර, එය එසේ සිදු නොවුවහොත් ඇයට මහත් දුෂ්කරතාවලට මුහුණ දීමට සිදු වනු ඇත.

මෙම චාරිත්‍රයට අනුව බිරිඳ කන්‍යාභාවය "සනාථ කිරීමට" අපොහොසත් වුවහොත් එම විවාහය අවලංගු කිරීමට ස්වාමිපුරුෂයාට හැකියාව තිබේ. මෙම තත්ත්වයට මුහුණ පාන කාන්තාවන්ට ප්‍රසිද්ධියේ අපහාස කෙරෙන අතර ඇතැම්විට ඔවුන් පවුලට කළ "ලැජ්ජාවට" පවුලේ ඥාතීන්ගෙන් පහර කෑමට ද සිදු වේ.

තවත් තොරතුරු:

කාන්තාවක්, පුරුෂයෙකු හා ලිංගිකව එක්වන පළමු අවස්ථාවේ අනිවාර්යයෙන්ම ඇයගේ යෝනියෙන් රුධිරය වහනය විය යුතුය යන මතය විශේෂඥයින් විසින් එක හෙළාම බැහැර කරනු ලැබුව ද, මෙම චාරිත්‍රය අදටත් අනුගමනය කරන පිරිස් සිටිති.

"කාන්තාවකගේ යෝනියෙන් රුධිරය වහනය වීම පළමුවෙනි ලිංගික සංසර්ගයේදී සිදු නොවීමට හේතු බොහොමයක් තිබෙන්න පුළුවන්," යැයි දිල්ලි නගරයේ වෙසෙන නාරි හා ප්‍රසව වෛද්‍ය සෝනියා නායික් බීබීබී සේවය වෙත පැවසුවාය.

"ප්‍රශ්නය ඇති වෙලා තිබෙන කාන්තාව වැඩිපුර ක්‍රීඩාවල යෙදී ඇත්නම් හෝ ස්වයං වින්දනයේ යෙදී ඇත්නම් රුධිරය වහනය නොවීමේ ප්‍රවණතාවක් තිබෙනවා. ඒ වගේම, මෘදු හැසිරීමක් ඇති සහකරුවෙක් නිසා කාන්තාවක් ලිංගිකව එක් වන පළමු දවසේ රුධිර වහනයක් සිදු නොවෙන්න පුළුවන්," වෛද්‍යවරිය තවදුරටත් පැවසුවාය.

අපි නැවතත් ඇනීටාගේ කතාවට හැරෙමු. විවාහයෙන් පසු කන්‍යාභාවය පරීක්ෂා කිරීමේදී ඉමහත් අපහසුතාවට පත් වන බව ඇය දැන සිටියාය. එයට හේතුව නම් ඇය විවාහයට පෙර සිය සැමියා සමග ලිංගිකව එක්ව තිබීමය. එහෙත් ඊළඟට සිදු වූයේ ඇය කිසිසේත් බලාපොරොත්තු නොවූ දෙයකි.

"මම හිතුව මගේ සැමියා මම වෙනුවෙන් ගම්සභාව ඉදිරියේ පෙනී සිටීවි කියලා, නමුත් ඒ අය මම 'පවිත්‍ර ද, අපවිත්‍ර ද' කියල අහන විට, එයා පැල්ලම් නැති රෙද්ද පෙන්නලා මම බොරු කාරියක් කියල කිව්වා" ඇනීටා පැවසුවාය.

Image copyright Getty Images
Image caption කන්‍යාභාවය "සනාථ කිරීමට" අපොහොසත් වූ විට එම විවාහය අවලංගු කිරීමට ස්වාමිපුරුෂයාට බලය හිමිවේ

"මාව තිගැස්සුනා. එයාගේ බල කිරීමට මම මාස හයක් විතර එයත් එක්ක ඉතා කිට්ටු සම්බන්ධතාවක් පැවැත්වුවා."

"ගම්සභාව මම 'අපවිත්‍ර' කෙනෙක් කියා ප්‍රකාශ කර මාව තනි කර යන්න ගියා. මම නතර කරගන්න බැරි තරමට ඇඬුවා," ඇය තවදුරටත් පැවසුවාය.

ඇනීටාගේ සැමියා විවාහ ජීවිතය ගතකිරීමට සැරසී සිටියත්, ඇය පරීක්ෂණය "අසමත්" බැවින් විවාහය අවලංගු කරන ලදි. නමුත් සිදුවූ අසාධාරණය පිළිබඳව දැනගත් සමාජ සේවා ක්‍රියාකාරීන් පිරිසක් මෙම සිද්ධිය පිළිබඳව පොලිසියට පැමිණිලි කිරීමෙන් පසු ඔවුන් දෙදෙනාට විවාහය පවත්වාගෙන යෑමට බල කර ඇත.

නමුත් ඔහු ඇයට දිනපතා පහර දෙමින්, අපහාස කරමින් ජීවිතය 'අපායක්' බවට පත් කර ඇතැයි ඇය පැවසුවාය.

මේ තොරතුරුද දැනගන්න:

ගම්සභාව මෙම "බොරුකාර" යුවළට ප්‍රජා උත්සව කිසිවකට සහභාගී වීම තහනම් කිරීමත් සමග ප්‍රශ්නය තවත් උග්‍ර අතට හැරුණි. "මට දරුවෙකු ලැබෙන්න ඉන්නවා කියල දැනගත්තට පස්සෙත් කිසිම දෙයක් වෙනස් වුණේ නැහැ. මගේ සැමියා නිතරම මගෙන් ඇහුවේ 'කාගේද මේ ළමයා?' කියා. ගම්සභාවේ සාමාජිකයන් තවමත් එයාගෙන් ඒ ප්‍රශ්නය අහනවා," ඇනීටා පැවසුවාය.

දෙමසකට පෙර අලුත උපන් බිළිඳා ද සමග ඇනීටා වෛවාහක නිවසින් නෙරපා දැමු පසු ඇය නැවතත් තම දෙමව්පියන් සමග ජීවත් වීම ආරම්භ කළාය. නමුත් තමා කන්‍යාභාව පරීක්ෂණයෙන් අසමත් වීමෙන් ඇයගේ පවුලේ සාමාජිකයන් සියලු දෙනා අපකීර්තියට සහ අපහසුතාවයට පත්ව ඇති බැවින් ඇයගේ සහෝදරියන්ට විවාහ වීමට පුරුෂයින් සොයා ගැනීමට ද නොහැකි වී ඇති බව ඇය පවසන්නීය.

Image copyright Getty Images
Image caption ලිංගික සංසර්ගය අතරතුර මනාලියගේ යෝනියෙන් රුධිරය වහනය වූයේ නම් ඇය "පවිත්‍ර" බව පිළිගැනේ

විසි පස් වියැති විවේක් තමයිචෙකර් (Vivek Tamaichekar) කන්‍යාභාව පරීක්ෂණයට එරෙහිව තරුණයන් අතර ව්‍යාපාරයක් දියත් කරමින් මෙම "පසුගාමී" චාරිත්‍රය අවසන් කළ යුතු බව පවසයි.

"මෙය අලුත විවාහ වූ යුවළකගේ පෞද්ගලිකත්වයට ඇති අයිතිය සම්පූර්ණයෙන්ම නැති කිරීමක් වගේම මෙම පරීක්ෂණය පවත්වන්නේ ඉතා අශෝභන සහ කම්පනයට පත් වන ආකාරයකට. බොහෝ පිරිසක් කාමරයෙන් එළියේ සිටිද්දී නව යුවළ ලිංගික සංසර්ගයේ යෙදෙන්න ඕන. ඒ වගේම ඔහුට මේ ගැන 'ඉගැන්වීමට' සිතාගෙන මනමාලයාට බොහෝ විට මත්පැන් දී කාමෝද්දීපන පිංතුර හෝ වීඩියෝ පෙන්වනවා," ඔහු පැවසුවේය.

"පසුවදා මනමාලයා උත්සවයකට කැඳවලා ඔහුගේ මනමාලිය පවිත්‍ර ද, අපවිත්‍ර ද කියල බොහොම උපහාසාත්මකව අහනවා," ඔහු තවදුරටත් පැවසුවේය.

දිනක් විවාහ උත්සවයකට සහභාගී වූ විවේක්ට දැක ගන්න ලැබුණේ එහි සිටි පිරිස මනමාලියට සපත්තු සහ සෙරෙප්පුවලින් පහර දෙන ආකාරයයි. මේ වන විට විවේක්ගේ වයස අවුරුදු දොළහක් පමණ වන්නට ඇත. "මට ඒ දවස්වල තේරුනේ නැහැ මොකක්ද මේ සිද්ධ වෙන්නේ කියලා" ඔහු පැවසුවේය. "මම වයසින් වැඩෙනකොට තමයි එදා වුණ සිද්ධිය ගැන තේරුනේ."

මෙම වසරේ විවාහ වීමට බලාපොරොත්තු වන විවේක් සහ ඔහුගේ සහකාරිය කන්‍යාභාව පරීක්ෂණය නොකරන බව ඔවුන් ජීවත් වන පූන් නගරයේ ගම්සභාවට (පංචායත්) දැනුම් දී ඇත. මෙම චාරිත්‍රයට එරෙහිව නැගී සිටින ලෙස තරුණ ප්‍රජාවෙන් ඉල්ලා සිටින ඔහු, මෙය හඳුන්වන්නේ "නිශ්ශබ්දව කෙරෙන කුමන්ත්‍රණයක්" ලෙසය.

විවේක් විසින් ආරම්භ කරන ලද "Stop the V ritual" ('කන්‍යාභාව පරීක්ෂණය නවත්වනු' ලෙස අරුත් ගැන්වෙන) නම් වූ හැට දෙනෙකුගෙන් සමන්විත වට්ස්ඇප් (WhatsApp) කණ්ඩායමේ අඩක් පමණ සිටින්නේ කාන්තාවන්ය. මෙම චාරිත්‍රය ඉටු කිරීම නැවැත්වීමට අන් අයව පෙලෙඹවීම මෙම කණ්ඩායමේ අරමුණ වී ඇත.

Image caption කන්‍යාභාව පරීක්ෂණය නැවැත්වීමේ සටනට මූලිකත්වය දෙන විවේක් තමයිචෙකර්

නමුත් මෙම ව්‍යාපාරයට සමාජයෙන් එල්ල වන චෝදනා සහ ගැරහුම්වල නිමක් නැත.

පූන් නගරයේ විවාහ උත්සවයකට සහභාගී වූ ඔහුගේ කණ්ඩායම් සාමාජිකයන්ට කෝපයට පත් අමුත්තන්ගෙන් පහර කෑමට ද සිදු විණි. මෙම කණ්ඩායම විසුරුවා නොහරින්නේ නම් සහ කන්ජාබාත් ප්‍රජාව "අපකීර්තියට පත් කිරීම" ගැන සමාව ඉල්ලා නොසිටියහොත් එහි සාමාජිකයන්ගේ ඥාතීන් "සමාජයෙන් කොන්" කරන බව ගම්සභාව අනතුරු අඟවා තිබේ.

විවේක් මේ කිසිවකින් අධෛර්යමත් වී නැත. ඉන්දීය මාධ්‍ය ඔහුගේ කණ්ඩායම් සාමාජිකයන්ට පහරදීමේ සිද්ධිය වාර්තා කිරීමත් සමග කන්‍යාභාව පරීක්ෂණය රට පුරා සාකච්ඡාවන මාතෘකාවක් බවට පත් වී ඇත.

මේ ලැබුණු පුළුල් අවධානයත් සමග මෙම ප්‍රශ්නයේ අවසානයක් දැකිය හැකි වනු ඇතැයි යන්න විවේක්ගේ විශ්වාසයය.