ඔලිම්පික් : උතුරු කොරියානු නායකයාගේ නැගණිය දකුණු කොරියාවට පැමිණෙයි

කිම් යෝ-ජොන්ග් දකුණු කොරියාවේ සුවිශේෂී චාරිකාවක

ඡායාරූප මූලාශ්‍රය, AFP

ඡායාරූප ශීර්ෂ වැකිය,

කිම් යෝ-ජොන්ග් දකුණු කොරියාවේ සුවිශේෂී චාරිකාවක

උතුරු කොරියානු නායකගේ නැගණියවන කිම් යෝ-ජොන්ග් සුවිශේෂී චාරිකාවක් අරඹමින් දකුණු කොරියාවට පැමිණියාය.

ඇය, 1950-1953 අතර පැවති කොරියානු යුද්ධයෙන් අනතුරුව දකුණු කොරියාවට පැමිණි, උතුරු කොරියාව පාලනය කරන පවුලේ ආසන්නම සාමාජිකයා වේ.

දකුණු කොරියාවට පැමිණි ඇය සහ උතුරු කොරියාවේ නාමික රාජ්‍ය නායක කිම් යොන්ග් නාම්, ශිශිර ඔලිම්පික් උළෙලේ සමාරම්භක උත්සවයට එක්වීම සඳහා පියෝන්ග්චාන්ග් කරා යමින් සිටියහ.

සිය සහෝදරයාට ඉතාමත් සමීපයැයි පැවසෙන කිම්, පසුගිය වසරේදී එරට බලසම්පන්න දේශපාලන මණ්ඩලයට උසස් කෙරිණි.

උතුරු කොරියාවේ මානව හිමිකම් උල්ලංඝනයට අදාළව ඇය ඇමෙරිකාවේ සම්බාධක ලැයිස්තුවට ඇතුළත් කර සිටී.

මෙවර ශිශිර ඔලිම්පික් සමාරම්භක උළෙලේදී කොරියානු රාජ්‍ය දෙක එක ම ධජයක් යටතේ පිය නගනු ඇත.

ඡායාරූප මූලාශ්‍රය, AFP

ඡායාරූප ශීර්ෂ වැකිය,

කිම් යොන්ග් නාම් (දකුණේ), කණ්ඩායමේ නිල ප්‍රධානියා

ක්‍රීඩකයින් විසිදෙදෙනෙකුට අමතරව ජයඝෝෂා නගන්නන් හා වාධ්‍ය වෘන්දයක් ද ඇතුළත් නියෝජිතයින් 400 දෙනෙකුගෙන් සමන්විත කණ්ඩායමක් ප්යෝන්ග් යැන්ග් පාලනය විසින් පිටත් කර හරිනු ලැබේ.

කොරියානු රාජ්‍ය දෙක අතර සබඳතාව වර්ධනය වෙමින් පවතින අවස්ථාවක මෙම ක්‍රීඩාමය රාජ්‍යතාන්ත්‍රිකභාවය මතුවුව ද එය කලාපය තුළ පවතින නොසන්සුන් තත්ත්වය අවසානයක් කරා යොමු නොකරන බවට විශේෂඥයෝ පෙන්වා දෙති.

1950 - 1953 පැවති යුද්ධයෙන් කොරියානු අර්ධද්වීපය බෙදී වෙන්වූ තැන සිට මේ දක්වා දෙපාර්ශ්වය සෑම ගිවිසුමකට එළඹ නැත.

මේ අතර බ්‍රහස්පතින්දා (පෙබ. 08) උතුරු කොරියාව පැවැත්වූ හමුදා පෙරෙට්ටුවට එරට නායක කිම් ජොන්ග් අන් ද එක්විය.

එම පෙරෙට්ටුව සාමාන්‍යයෙන් අප්‍රේල් මාසයේදී පවත්වන්නක් වුවද, ඔලිම්පික් සමාරම්භක උළෙල උදාව දක්වා ඉදිරියට ගෙන ඒම උනුසුම්වන සබඳතා පසුපසට ගෙනයාමක් ලෙස පෙනෙන්නට විණි.

කෙසේවුව ද, දකුණු කොරියානු ජනාධිපතිවරයා සෙනසුරාදා උතුරු කොරියානු ඔලිම්පික් කණ්ඩායම මුණගැසෙනු ඇත.

මේ තොරතුරු ද දැනගන්න: